Monday, April 30, 2018

Ancient Yodha ela, Yodha ela village and Archaeological Heritage Conservation

“ඓතිහාසික යෝධ ඇළ, යෝධ ඇළ ගම්මානය සහ 

පුරාවිද්‍යා උරුම සංරක්ෂණය”


ආචාර්ය දර්ශන බණ්ඩාර

ඉන්දික බණ්ඩාර


 



1. හැඳින්වීම


අනුරාධපුරයේ රජ කළ ධාතුසේන රජු (ක්‍රි.ව. 453-473) විසින් ඉදි කරන ලද රජරට වාරි තාක්ෂණයේ සුවිශේෂී ලක්‍ෂණ විශද කරන ඓතිහාසික නිර්මාණයක් ලෙස “යෝධ ඇළ” හැඳින්විය හැකි ය. කලා වැවෙහි සිට තිසා වැව දක්වා ගංගා දෑලේ පිහිටි වැව් ගණනාවකට ජලය සපයන සැතපුමට අඟලක බැස්මට ගළා ගිය යෝධ ඇළ වර්තමානය වන විට ජාතියට අහිමි වී යන පුරාවිද්‍යා උරුමයක් බවට පත් ව ඇත. විශේෂයෙන් ම මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදි කළ ජය ගඟ හේතුවෙන් යෝධ ඇළෙහි බොහෝ කොටස් අභාවිතයට පත් වීම නිසා විනාශයට ලක් විය. එප්පාවල සහ එළියදිවුල්වැව යන ගම්මාන ආශ්‍රිත ව යෝධ ඇළෙහි අතහැර දැමූ කොටසෙහි පිහිටි ඉවුරු කපා දමමින් අදාළ ප්‍රදේශවල ජනතාව යෝධ ඇළ තුළ නව ගම්මානයක් මීට වර්ෂ 20-30 කට පෙර ඉදි කරගෙන ඇත. “යෝධ ඇළ ගම්මානය” නම් මෙම ගම්මානයෙහි ජනාවාස ව්‍යාප්තියත් සමග යෝධ ඇළෙහි ඉතිරි ඉවුරු කොටස් සහ ජලය ගළා ගිය ගමන් මාර්ගය විනාශයට ලක් වී ඇත. නිවාස ඉදිකිරීම, ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සහ ළිං ඉදිකිරීම මගින් යෝධ ඇළ අවහිර වී ඇති නමුත් වර්ෂා කාලවල දී පැරණි ගමන් මාර්ගයෙහි ජලය ගළා ගොස් යෝධ ඇළ ගම්මානයෙහි ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇත. යෝධ ඇළෙහි පිටාර ජලය ගැළීමට බ්‍රිතාන්‍ය පාලන සමයෙහි ඉදිකළ ඉපැරණි ගල් සොරොව්වක් සහ එම ස්ථානයෙහි ම පැරණි යුගයෙහි ඉදිකළ ගල් සොරොව්වක නටබුන් ද විනාශ වෙමින් යන අන්දම 2013 වර්ෂයෙහි මුල සිදුකළ ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී හඳුනා ගත හැකි විය. වර්තමාන රජය 2010 වර්ෂයේ දී යෝධ ඇළ පුනර්ජීවන වැඩසටහනක් සඳහා මුල්ගල තබා තිබුණ ද, පුරාවිද්‍යා උරුම සංරක්ෂණය සහ ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ ව පැහැදිලි ගැටලු ගණනාවක් මෙම ප්‍රදේශයෙහි හඳුනාගත හැකි විය. ඉපැරණි යෝධ ඇළෙහි ඉදිකොට ඇති යෝධඇළ ගම්මානය ආශ්‍රිත ව පැන නැඟී ඇති පුරාවිද්‍යා ගැටලු පිළිබඳ අපගේ අවධානය යොමු වේ.


2. යෝධ ඇළේ ඉතිහාසය හා යෝධ ඇළ ගමන් මාර්ගය


කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන යමින් ඒ අතර පෙදෙසටත් ජලය සැපයූ දිගින් සැතපුම් පනස් හතරක් වන ජයගඟ නමැති යෝධ ඇළ කර වූ කාලය පිළිබඳ ව වංසකතාවල කිසිවක් සඳහන් කර නැති හෙයින් එය ද කලා වැව කරවූ වකවානුව තුළ ම කරවන ලදැයි සැලකිය හැකි ය(පරණවිතාන, 1964:341). තිසා වැවේ ජල ප්‍රමාණය ධාතුසේන රජු දවස වැඩි කර ගැනීමට අවශ්‍ය වන්නට ඇත්තේ අගනුවර වැඩිවන ජනගහන අවශ්‍යතා පරිදි විය හැකි ය. රජරට රාජධානි සමයේ ඉතා වැදගත් වූ මෙම ඇළ මාර්ගය එහි විනාශයත් සමග පරිහානියට පත්විය. නැවත යෝධ ඇළ ප්‍රකෘතිමත් වන්නේ ඉංග්‍රීසී පාලන සමයේ දී ය. 1877-1886 දක්වා ඉංග්‍රීසීන් සිදු කරන ලද යෝධ ඇළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන් රුපියල් 245585 ක් වියදම් දරා ඇති අතර ඇළ මගින් ගම් වැව් හැටහයකට ජලය සපයා ඇත. මෙම ඇළේ නඩත්තුව හා ඇළ බැම්ම සුද්ධ කිරීම ගම්සභා නීතිය අනුව වැව් ජලයෙන් වගා කරන ගොවියාට පවරා ඇත(කරුණානන්ද, 2005:88)යෝධ ඇළ පිළිබඳ ව 1886 අංක 29 දරන සැසි වාර්තාව 1891 අංක එක දරන සැසි වාර්තාව සහ 1890 අංක  දාහතර දරන සැසි වාර්තාවල තොරතුරු ඇතුළත් ය. එතැන් සිට ඉංග්‍රීසීන් නඩත්තු කළ මෙම ඇළ මාර්ගය නුවරකලාවියේ බහුතර ගොවි ජනතාවට ආශිර්වාදයක් විය.

“කලා වැවේ සිට තිසා වැව දක්වා සැතපුමට අඟලක බැස්මකින් ගලා බස්නා යෝධ ඇළ හෙළ වාරි තාක්ෂණ ශිල්පයේ මහඟු දායාදයක් ලෙස” ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් දැනුදු තම අනාගත පරපුරට උගත්වති. යෝධ ඇළේ විශ්මය ජනක ගලා බැස්ම පිළිබඳ ව උදම් අනන බොහෝ දෙනෙක් එය ස්වභාවික නො වූ මරණයකට පත්ව ඇති බවක් නොදනිති. ඒ පිළිබඳ ව අපගේ අවධානය යොමු කිරීමේ දී යෝධ ඇළ ගමන් ගන්නා ගමන් මග විමසා බැලීම මූලික ව වැදගත් වේ.

කලා වැවෙන් ඉපැරණි යෝධ ඇළ පටන් ගන්නා සොරොව්ව පිහිටා ඇත්තේ සුප්‍රසිද්ධ විජිතපුර පන්සලට දකුණු දෙසිනි. විජිතපුර පන්සල අසල පිහිටි දහයියා කන්දේ දකුණු දෙසින් පැරණි යෝධ ඇළ ගලා බසින අතර මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදි කළ නව ජය ගඟ උතුරු දෙසින් ගලා බසී. යෝධ ඇළ කලාකරඹෑව පසු කර මද දුරක් ගලා බසින අතර “අස්වැද්දුම” ප්‍රදේශයේ අමුණක් දක්නට ඇත. එයින් ගලා යන ජලය දඹේවටුන හරහා කටියාව වැවට සමෝච්ඡ රේඛානුකූල ඇළකින් ගලා යයි. යෝධ ඇළ ඉපලෝගම කුඩා වැව් දෙකකට හා කඩියන්ගල්ල වැවට ජලය සපයමින් කුඹුක් වැවට ගලා යයි. යෝධ ඇළට සමාන්තර ව ගලා බසින ජය ගඟ ඇතැම් ස්ථානවල දී යෝධ ඇළට මදක් මෑත් ව ගමන් ගනී. කුඹුක් වැවේ දී මෙම ඇළ මාර්ග දෙක එකතු වේ.

කුඹුක් වැවේ සිට මෙම ඇළ මාර්ග දෙකේ ම ජලය ගලා යන්නේ පැරණි යෝධ ඇළ මාර්ගය ඔස්සේ බව සරල ව සඳහන් කළ හැකි ය. ඒ අනු ව මෙම ඇළ මාර්ගය ප්‍රදේ ශයේ වැව් කීපයකට වැටෙමින් ඒවා ජලයෙන් පුරවමින් ඉදිරියට ගලා යෑම සිදුවේ.කිරලෝගම වැවෙන් නිකුත් වන ජලය නව ජය ගඟ හන්දිය නම් වූ ස්ථානයෙන් ඇළ මාර්ග දෙකකට බෙදේ.


  1. පැරණි යෝධ ඇළ - නව ජය ගඟ සොරොව්වේ සිට ආරම්භ වී පැරණි ගමන් මග දිගේ තිරප්පනේ රත්මලේ හරහා තිසා වැවට ජලය ගෙන යයි.
  2. නව ජය ගඟ - තලාව, කරගඟ වැව පසු කරමින් නොච්චියාගම ප්‍රදේශයෙන් එපිට පළාත්වල මහවැලි ගම්මානවලට, කුඩා ඇළවල්වලට බෙදී ජලය සපයයි.

නව සංවර්ධන ව්‍යාපාර නිසා යෝධ ඇළේ ගමන් මග ජය ගඟේ ආක්‍රමණයට හසු වූ බව පැහැදිලි ය. එම නිසා නව ජයගඟේ වතුර යෝධ ඇළ දිගේ ඇතැම් තැන්වලට ගෙන යන අතර තවත් බොහෝ තැන්වල දී යෝධ ඇළ හුදකලා වන අන්දම නිරීක්ෂණය කළ හැකි විය.

3. “යෝධ ඇළ ගම්මානය”  පිළිබඳ මූලික ගවේෂණය


පැරණි යෝධ ඇළ ගලා ගිය ප්‍රදේශය පිළිබඳ ව අධ්‍යයනය 2013 වර්ෂයේ ජනවාරි - පෙබරවාරි මාසවල දී සිදු කරන ලදී. ඒ අනුව යෝධ ඇළේ පැරණි ගමන් මාර්ගය පිළිබඳ ව අවධානය යොමු කළ අතර එහි මධ්‍ය නිමිනය කෙරෙහි වැඩි අවධානයක් ලබාදෙන ලදි. 1977 කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අනුව පැරණි යෝධ ඇළ අභාවිතයට ගොස් නව ජයගඟ ක්‍රියාත්මක වන අන්දම හඳුනාගත හැකි විය (බණ්ඩාර, 2012: 349). යෝධ ඇළ ගලා ගිය ඉපැරණි ගමන්මඟ ආශ්‍රිත පැරණි ජනාවාස දෙකක් වූ එප්පාවල, එලියදිවුල්වැව අතර ප්‍රදේශය අපගේ ගවේෂණයට ලක් විය. එප්පාවල නගර සීමාවේ පිහිටි ඉහළ සියඹලෑවේ සිට යෝධ ඇළේ බැම්ම දිවුල් වැව ප්‍රදේශය දක්වා තවමත් දැකිය හැකි අතර එය මාර්ගයක් ලෙස ප්‍රදේශවාසීන් භාවිතා කරයි (ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2013). යෝධ ඇළ බැම්මෙන් ඇතුළත ප්‍රදේශය ගම්මානයක් බවට පත්ව ඇති අතර එහි පවුල් 170 ක් හා 400 කට අධික ජනගහනයක් පදිංචි ව සිටිති (අනූෂා සඳමාලි, ග්‍රාම නිලධාරි, සම්මුඛ සාකච්ඡාව, 2013). යෝධ ඇළේ පිහිටි “යෝධ ඇළ ගම්මානය” ආශ්‍රිත අපගේ ගවේෂණය මඟින් හඳුනාගත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

 3.1. අරමුණු


කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා නව ජය ගඟ ඉදිකිරීමෙන් පසු ව ශතවර්ෂ ගණනාවක් පැවති යෝධ ඇළ විනාශයට පත්වීම පිළිබඳ ව බොහෝ ලාංකිකයන් නොදැන සිටීම අභාග්‍ය සම්පන්න කරුණකි. නව ජයගඟ නිසා අතහැර දමන ලද දේශීය පුරාවිද්‍යා උරුමයක් වන යෝධ ඇළේ ඉවුරු ප්‍රදේශ තවමත් ඉතිරි ව පවති. එම ප්‍රදේශයන් අධ්‍යයනයට ලක් කිරීම මගින් යෝධ ඇළේ වම් ඉවුරේ දැනට ඉතිරි ව ඇති ඉවුරු කොටස් හා ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම් හඳුනාගැනීමට මෙහි දී උත්සාහ ගත් අතර ඒ කෙරෙහි මානව බලපෑම පිළිබඳව ද අපගේ අවධානය යොමු විය. මෙම අධ්‍යයනය මගින් යෝධ ඇළ ගම්මානයට අයත් ඉවුරු කොටස් හා යෝධ ඇළ ගලා ගිය ගමන් මාර්ගයට සිදු ව ඇති විනාශ පිළිබඳ ව හඳන්වා දීමට උත්සාහ ගත් අතර සංවර්ධන ව්‍යාපෘතියක පසුකාලීන බලපෑම් කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. යෝධ අළ ගම්මානයේ ජනතාව පුරාවිද්‍යා උරුමය හා සංවර්ධනය අතර පීඩනයට ලක්වන අන්දම පැහැදිළි කිරීමට ද අප උත්සාහ දරා ඇත.

3.2. ගවේෂණයේ වැදගත්කම


යෝධ ඇළ ගම්මානය පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණය මගින් පුරාවිද්‍යා උරුමයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගැනීම කෙරෙහි අවධානය යොමු කරවීම අධ්‍යයනයේ වැදගත්කමක් ලෙස හඳුන්වා දිය හැකි ය. එමෙන් ම සංවර්ධන ප්‍රතිපත්තියක් නිසා අභාවිතයට ගිය පුරාවිද්‍යා භූමියක් පිළිබඳ ව රජයේ නිසි පසු විපරමක් සිදු නොවීම හේතුවෙන් පදිංචි වූ ජන කණ්ඩායමකට පසු කාලීන ව බලපාන ලද සමාජ ආර්ථික ප්‍රශ්න කෙරෙහි අපගේ අවධානය යොමු වීම ද මෙහි දී වැදගත් වේ. මෙම ගවේෂණයේ පවත්නා කාලීන වැදගත්කම වන්නේ විනාශ වෙමින් යන යෝධ ඇළ පිළිබඳ ව අවසාන සාක්ෂි පුරාවිද්‍යාත්මක ව ගවේෂණයට ලක් කිරීම යි. මෙම අධ්‍යයනය මගින් පැරණි යෝධ ඇළේ ඉතිරි ව පවත්නා ඉවුරු කොටස් හඳුනා ගැනීමට හා ඒවාට සිදුවන විනාශය වාර්තා කිරීමට උත්සාහ ගැනීම මෙම ගවේෂණයේ වැදගත්කම ඉහළ නංවයි. දැනට ඉතිරි ව ඇති ඉවුරු කොටස් පිළිබඳ ව පුරාවිද්‍යාත්මක ව ගැඹුරු හැදෑරීමකට මග පෙන්වීමට සහ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂීත කිරීම සඳහා කරුණු ගෙනහැර දැක්වීම අධ්‍යයනයේ වැදගත්කමක් වනු ඇත. සංවර්ධනය හා පුරාවිද්‍යා උරුම කළමනාකරණ අතර ජනතාවගේ හා පාලකයන්ගේ භූමිකාව කුමක් විය යුතු ද යන ප්‍රස්තුතය පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීමට මෙම අධ්‍යයනය හේතුපාදක වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකි ය.

3.3. අධ්‍යයන ක්‍රමවේදය


මෙම අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලද ක්‍රමවේදය ක්ෂේත්‍ර සමීක්ෂණ ක්‍රමවේදය යි. ඒ අනුව යෝධ ඇළ ගලා ගිය පැරණි ගමන් මාර්ගය පිළිබඳ ව සිතියම් ආශ්‍රිත ව කරුණූ සොයා බලා එම ගමන් මාර්ගය හඳුනා ගැනීම මූලික ව සිදු විය. ඉන් අනතුරු ව අදාළ ක්ෂේත්‍රයේ පිහිටි පුරාවිද්‍යා අවශේෂ කෙරෙහි අවධානය ලබා දී ඇළ මාර්ගය ඔස්සේ ගවේෂණය සිදු කරන ලදි. කැකිරාව-අනුරාධපුර ගමන්මාර්ගයේ එප්පාවල පසු කළ විට හමු වන ඉහළ සියඹලෑවේ සිට දිවුල් වැව දක්වා ක්ෂේත්‍රය මෙහි දී අපගේ ගවේෂණයට ලක් විය. යෝධ ඇළ ගම්මානය ලෙස හඳුන්වන මෙම ප්‍රදේශයේ දැනට ඉතිරි ව ඇති යෝධ ඇළේ ඉවුරු කොටස් හා ඒවාට මෑත කාලීන ව මනුෂ්‍ය ක්‍රියා නිසා සිදු වී ඇති බලපෑමේ තීවුරතාව (සපච්ජඑ දf එයැ රුජැබඑ ිසඑැ පදාසසෙජ්එසදබ) වාර්තා කිරීම මෙහි දී සිදුවිය. යෝධ ඇළ ගම්මානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම සහ ජනාවාසකරණයෙන් පසු ගම්මානයේ ජනතාව වියැකී යන පුරාවිද්‍යා උරුමයක් වෙනුවෙන් මුහුණදෙන ගැටලු පිළිබඳ ව කරුණු හඳුනා ගැනීමට සම්මුඛ සාකච්ඡා ක්‍රමවේදය ද මෙහි දී අප විසින් භාවිතා කරන ලදී. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය ප්‍රජාව පුරාවිද්‍යා උරුමය සහ සංවර්ධනය පිළිබඳ දක්වන ලද අදහස් අපගේ අවධානයට යොමු විය.

4. යෝධ ඇළ ගම්මානයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම


4.1 අධ්‍යයන ක්ෂේත්‍රයේ පැතිරීම


මෙම අධ්‍යයනයේ දී යෝධ ඇළ ආශ්‍රයෙන් ඉදි වූ යෝධ ඇළ ගම්මානය පිළිබඳ අවධානය යොමු වූ අතර යෝධ ඇළේ ඉතිරි ව ඇති කොටස් පිළිබඳ ව කරුණු හඳුනා ගැනීමට හැකි විය. ඉහළ සියඹලෑව අවසානයේ සිට දිවුල් වැව නව පොස්පේට් මාවත දක්වා කි.මී. 2 කට ආසන්න යෝධ ඇළ ගමන්ගන්නා ගමන් මාර්ගයෙහි දක්නට ලැබුණු යෝධ ඇළ ගමෙහි පුරාවිද්‍යා අවශේෂ කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු කරවනු ලැබේ. යෝධ ඇළ ගම්මානයේ අධ්‍යයන ක්ෂේත්‍රයට අයත් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් අධ්‍යයනයේ විධිමත් භාවය පිණිස අප විසින් වෙන් කරනු ලැබේ.


  1. ඉහළ සියඹලෑවේ සිට යෝධ ඇළ ගම්මානයේ මැද දක්වා කොටස.
  2. යෝධ ඇළ ගම්මානයේ මධ්‍ය කොටස. 
  3. නව පොස්පේට් මාවතට ආසන්න යෝධ ඇළ ගම්මානයේ අවසන් කොටස.

අධ්‍යයන ක්ෂේත්‍රයට අයත් මෙම ප්‍රදේශවල දක්නට ලැබෙන ඉවුරු කොටස් හා ඒවායේ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව වෙන වෙන ම විමසා බැලීම වැදගත් වේ.

4.2 ඉහළ සියඹලෑවේ සිට යෝධ ඇළ ගම්මානයේ මැද දක්වා කොටස


ඉහළ සියඹලෑවේ සිට යෝධ ඇළ ගම්මානය දෙසට ගමන් ගන්නා මාර්ගය සම්පූර්ණයෙන් ම ඉපැරණි යෝධ ඇළ වම් ඉවුර වේ. මෙම ඉවුර පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වන නමුත් නූතනයේ දී බොරළු ඇතිරූ මාර්ගයක් බවට පත්ව ඇති අන්දම නිරීක්‍ෂණය කළ හැකි විය. වම් ඉවුරේ වම්පස කුඩා කටු සහිත වනගහනයක් දැකිය හැකි විය. එමෙන් ම එම ප්‍රදේශය පහත්බිමක් ලෙස ද හඳුනාගත හැකි විය. යෝධ ඇළ ඉවුර මෙම ප්‍රදේශයේ දී පළලින් අඩි 10 කට ආසන්න ප්‍රමාණයක් ගන්නා අතර බොහෝ ස්ථානවල දී ඉවුරේ උස අඩි 20 කට ආසන්න වූ බව හඳුනාගත හැකි විය. යෝධ ඇළේ වම් ඉවුරේ දකුණු පසින් පැරණි යෝධ ඇළ ගමන් මාර්ගය වැටී තිබුණු අතර වැසි සමයේ දී එහි ජලය සක්‍රීය ව ගමන්ගන්නා අන්දම නිරීක්‍ෂණය විය. සිවභාවික ජල මාර්ගයේ තැන්තැන්වල ජලය වැසි සමයෙන් පසුව ද එකතු ව පවතින අන්දම දැකිය හැකි විය. යෝධ ඇළ ගම්මානයේ මැද දක්වා යෝධ ඇළෙහි ඉපැරණි වම් ඉවුර හා ඉපැරණි යෝධ ඇළේ ගමන් මාර්ගය දැකිය හැකි නමුත් වම් ඉවුර මාර්ගයක් ලෙස භාවිතා කිරීම පුරාවිද්‍යාත්මක අගයකින් යුක්ත මෙම පරිශ්‍රයට දැඩි හානියක් වන බව පැහැදිළි ය. යෝධ ඇළ ගම්මානයේ මුල් භාගයේ සිදු ව ඇති පුරාවස්තු හානිය පහත කරුණුවලින් තවදුරටත් පැහැදිළි වනු ඇත.


  1. යෝධ ඇළ වම් ඉවුර මාර්ගයක් ලෙස භාවිතා කිරීම නිසා හානි සිදුවීම.
  2. යෝධ ඇළේ ස්වභාවික ජල මාර්ගය අවහිර කර තිබීම.
  3. යෝධ ඇළ තුළ නිවාස ඉදිකර තිබීම.
  4. යෝධ ඇළ තුළ ව්‍යාපාරික ස්ථාන ඉදිකර තිබීම.
  5. යෝධ ඇළ තුළ ළිං, වැසිකිළි, සතුන් ඇති කිරීමේ වාසස්ථාන ආදී මානව අවශ්‍යතාවලට උචිත අංගයන් ඉදිකර තිබීම.
  6. යෝධ ඇළ ඉවුරේ සිට යෝධ ඇළ මැදින් මාර්ග ඉදිකර තිබීම.
  7. යෝධ ඇළෙහි ඉදිකර ඇති මාර්ග රැකගැනීම සඳහා යෝධ ඇළේ ජල පහරට ඔරොත්තු දෙන බෝක්කු යොදා තිබීම.
  8. යෝධ ඇළ වම් ඉවුර දිගේ අධිබල විදුලි රැහැන් පද්ධති ඇද තිබීම.
  9. යෝධ ඇළ ඉවුරේ සිට යෝධ ඇළ ඇතුළත ඉදිකළ නිවාස සඳහා විදුලි රැහැන් ඇද තිබීම.
  10. යෝධ ඇළෙහි බොහෝ කොටස්වල තේක්ක, පොල්, කෙසෙල් ආදී භෝග වගාවන් සිදුකර තිබීම.
(ක්ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2013)

යෝධ ඇළ ගම්මානයේ මුල් කොටස උක්ත හේතූන් නිසා දැඩි ලෙස යෝධ ඇළට සහ එහි ඉවුරට හානිදායක වී ඇති අන්දම පැහැදිළි ව හඳුනාගත හැකි විය.

4.3 යෝධ ඇළ ගම්මානයේ මධ්‍ය කොටස. 


යෝධ ඇළ ගම්මානය මධ්‍ය කොටසට වත් ම යෝධ ඇළ බැම්මෙහි උස් ස්වභාවය දැකිය නොහැකි ය. මෙම ප්‍රදේශයේ දී යෝධ ඇළ බැම්ම දැඩි ලෙස හානියට ලක්ව ඇත. ඉවුරු කොටස් නිවාස ඉදිකිරීම සඳහා කපා ඇති අතර ඇතැම් ස්ථානවල දී ඉවුරු කොටස් හඳුනාගැනීමට අපහසු විය. මාර්ගය ද උස් වූ ස්වභාවයකින් දැකිය නොහැකි වූ අතර සමෝච්ඡ රේඛානුකූල ව යෝධ ඇළ ගලායාම නිසා මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි උපකල්පනය කළ හැකි විය. ගම්මානය මුල් කොටසේ දී ඉවුරු කොටස් නිරුපද්‍රිත ව පැවතිය ද මධ්‍ය කොටසේ දී නිවාස, ඉවුර මත හා ඉවුර සමතලා කිරීමෙන් ඉදිකළ බව හඳුනාගත හැකි විය. එමෙන් ම මෙම ප්‍රදේශයේ යෝධ ඇළ ගමන්ගත් මාර්ගය ද අවහිර කර ඇති අන්දම පැහැදිළි ව දැකිය හැකි විය. වර්ෂා කාලයේ දී ගලා යන ජලය තම නිවාසවලට කරදරයක් වන හෙයින්, වෙනත් දිශාවලට ජලපහර හැරවීමට ප්‍රදේශවාසීන් කානු කපා ඇති අන්දම ද අපට දැකගත හැකි විය. නමුත් නිවාස ආසන්නයේ යෝධ ඇළේ ජලය ගමන්ගත් මාර්ගයේ දිය කඩිති විශාල ලෙස පවත්නා බව ද අපගේ අවධානයට ලක් විය. මෙම ප්‍රදේශය හරහා යෝධ ඇළෙහි ස්වභාවික ගමන් මාර්ගයේ ජලය ජනතාව පදිංචි නිවාස පිහිටි වතු හරහා අධික වර්ෂාවක් පවත්නා විට ගලා යන පටු ගමන් මාර්ගයක් දැකිය හැකි ය. යෝධ ඇළ ගම්මානයේ යෝධ ඇළ ඉතා දැඩි ව පුරාවිද්‍යාත්මක ව හානියට ලක් වූ ප්‍රදේශය ලෙස මෙම ප්‍රදේශය හඳුන්වා දිය හැකි ය.

4.4 නව පොස්පේට් මාවතට ආසන්න යෝධ ඇළ ගම්මානයේ අවසන් කොටස


යෝධ ඇළ ගම්මානයේ අවසන් කොටස නව පොස්පේට් මාවත නම් වූ දිවුල් වැව ගම්මානයට ආසන්න ප්‍රදේශය දක්වා විහිදේ. මෙම ප්‍රදේශයේ පැරණි යෝධ ඇළට නැගෙනහිරින් නව ජයගඟ ගලා යයි. ජය ගඟෙන් ගලන “ඩී” ඇළක් දිවුල් වැව ප්‍රදේශයට ගලා යයි. යෝධ ඇළ ගමෙහි අවසන් කොටසේ දී පැරණි යෝධ ඇළ හරහා නව ජයගඟ ගලාගොස් ඇති බව දක්නට ලැබුණි. එසේ වුව ද යෝධ ඇළෙහි ගමන් මාර්ගයෙහි කොටස් ජයගඟ දෙපසින් තවදුරටත් දැකිය හැකි ය. යෝධ ඇළ ගම්මානයට අයත් මීටර් 200 ක් පමණ වන කොටස වනගත ව පවත්නා අතර, පොස්පේට් පාලමෙන් උතුරට පැරණි යෝධ ඇළෙහි අභාවිත කොටසක් ඉදිරියට ගලා යයි.

යෝධ ඇළ ගමෙහි මධ්‍ය කොටසේ සිට ගලා එන පටු ජල පහර නිවාස ඉදි කිරීම නිසා හානියට පත් ව ඇත. ඇතැම් පිරිසි යෝධ ඇළ ඉවුර හෙළි පෙහෙළි කර වගාවන්ට යොදා ඇති බව දැකිය හැකි විය. යෝධ ඇළ ගම්මානයෙහි නව පොස්පේට් මාවතට ආසන්න ප්‍රදේශයේ දී අතීතයෙහි එහි වැඩි ජලය පිට කළ විශාල ගල් සොරොව්වක් දැකිය හැකි විය. මෙම ගල් සොරොව්ව ඉතා ශක්තිමත් බැම්මකින් බැඳ ඇති අතර අඩි 15 කට වඩා උසින් යුක්ත වූ අතර එහි පළළ අඩි 10 කට නොඅඩු විය. 1886 වන විට යෝධ ඇළ ප්‍රයෝජනයට ගත හැකි ඇළක් ව පැවති බව ආර්. ඩබ්ලිව් අයිවර්ස් වාර්තා කර ඇත(ෂැඩැරි, 1899).  1887 දී යෝධ ඇළ පද්ධතියේ මිනුම් කටයුතු සිදුකොට ග්‍රාමීය වැව් විසි දෙකක සොරොව් ඉදිකිරීම සිදු කර ඇත (ෂැඩැරි, 1899: 302). දිවුල් වැව ප්‍රදේශයේ දී යෝධ ඇළේ වංගුවක ඉංග්‍රීසීන් විසින් ඇති කරන ලද සොරොව්වක් ආශ්‍රයෙන් ලබා ගන්නා ජලය දිවුල් වැව වෙත රැගෙන ගිය ගමන් මාර්ගය ද මෙහි දී හඳුනාගත හැකි විය. යෝධ ඇළ සොරොව්වවේ සිට පැවති මෙම ගමන් මාර්ගය නූතනයේ කුඹුරු යායක් නිසා අභාවිතයට ගොස් ඇති බව පැහැදිළි විය. ඉංග්‍රීසි යුගයේ ඉදිකළ ගල් සොරොව්වට මඳක් දුරින් අනුරාධපුර යුගයේ දී සොරොව්වක් ලෙස භාවිතා කළේ යැයි සැක සිතිය හැකි ගල් සොරොව්වකින් ශේෂ වූ පාදම් ගල්, පැතළි ගල් පුවරු හා පැරණි ගඩොල් දැකිය හැකි විය. ගල් සොරොව්වට ආසන්න නිවසෙහි මිදුලට ද පැරණි යුගයේ පැතලි ගල් පුවරු රැගෙන ගොස් තිබූ අන්දම දැකිය හැකි විය. යුගයන් දෙකකට අයත් ගල් පුවරු හා තාක්‍ෂණය මෙම ස්ථානයේ පැවති යෝධ ඇළේ සොරොව් දෙකක් පිළිබඳ සාදක පෙන්නුම් කරයි.


  1. මුල් යුගයේ ආසන්න ගම්වැව්වලට ජලය ලබා දීමට භාවිතා කරන ලද ගල් සොරොව්ව.
  2. මුල් සොරොව්ව පිහිටි ස්ථානයේ ඉංග්‍රීසීන් විසින් ඉදිකරන ලද ගල් සොරොව්ව.

එම නිසා යෝධ ඇළෙහි ජල කළමනාකරණයේ ඉපැරණි තාක්‍ෂණය පිළිබඳ ව වැදගත් සාධකයක් අපට හඳුනාගත හැකි වේ. යෝධ ඇළ දෙපස පිහිටි වැව් සඳහා ජලය ලබා දෙමින් යෝධ ඇළ ගමන්කොට ඇති බව පැහැදිළි ව හඳුනාගත හැකි  අතර මෙම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සොරොව් දෙක ම අනාරක්‍ෂිත භාවය නිසා විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා ඇත.

යෝධ ඇළ ගම්මානයේ නව ජයගඟට ආසන්න අවසන් කොටසේ දී නැවත වතාවක් පැරණි යෝධ ඇළේ ඉවුරු කොටස් පැහැදිළි ව දැකිය හැකි ය. නමුත් ඉවුරු කොටස් නිවාස ඉදිකිරීම හා වගාවන් සඳහා විනාශකර ඇති අන්දම ද පැහැදිළි ව හඳුනාගත හැකි ය. ඉවුරට දකුණු පසින් යෝධ ඇළ ගමන්ගත් පැරණි මාර්ගය පැහැදිළි ව හඳුනාගත හැකි අතර වැසි සමයන් හි ජලය එහි ඒකරාශි වන අන්දම ද පැහැදිළි විය. මෙම ජල මාර්ගයේ මැද ළිං ඉදිකර ජලය ගලා යාමේ මාර්ග අවහිර කොට ඇති අන්දම ද දැකිය හැකි විය. අවසන් කොටසේ නිවාස යෝධ ඇළේ බැම්මට ඉතා සමීප ව ඉදිකොට ඇති අන්දම ද දැකිය හැකි විය. යෝධ ඇළෙහි පෞරාණික වටිනාකම පිළිබඳ ව එතරම් දැනුමක් නොපැවති ප්‍රදේශවාසීන් වර්ෂ 30 කට අධික කාලයක සිට මෙම ගම්මානයේ දී ඉපැරණි යෝධ ඇළට සහ එහි ඉවුරට හානි කර ඇති බව පැහැදිළි ය.

5. යෝධ ඇළ පුනරුත්ථාපන වැඩසටහන


ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන යෝධ ඇළ 1977 මහවැලි කඩිනම් ව්‍යාපෘතිය නිසා අභාවිතයට යාම හේතුවෙන් විනාශ මුඛයට පත් විය. යෝධ ඇළේ සමෝච්ඡ රේඛානුකූල මාර්ගයේ සෙමින් ජලය බැස යාම සංවර්ධන ව්‍යාපෘතියට බාධාවක් ලෙස සැළකූ පරිපාලන සහ දේශපාලන බලාධිකාරය ජයගඟ නම් වූ නව ඇළ යෝධ ඇළ ගමන් මාර්ගයෙහි ඇතැම් තැන් හරහා කෙටි මඟකින් ඉදි කිරීම සිදු විය. අභාවිතයට ගිය යෝධ ඇළ පිළිබඳ හා එහි ජලය ගලා ගිය තාක්‍ෂණය පිළිබඳ බොහෝ දෙනා සාකච්ඡා කරනුයේ පැරණි යෝධ ඇළ තව දුරටත් ක්‍රියාත්මක වන බව සිතමිනි. නමුත් යෝධ ඇළ විනාශ වී ඇති බව අවබෝධ කරගන්නා රජය 2010 නොවැම්බර් 16 වන දින “ඓතිහාසික යෝධ ඇළ පුනර්ජීවන හා සංරක්‍ෂණයට පත් කිරීමේ යෝධ වැඩපිළිවෙල” නමින් වැඩසටහනක් ආරම්භ කරයි. මෙම වැඩසටහන සඳහා ආයතන 5 ක් දායකත්වය දැක්වූ බව එකී වැඩසටහන පිළිබඳ ව ඉදිකරන ලද සමරු ඵලකයේ සඳහන් වේ.


  • ඓතිහාසික යෝධ ඇළ ප්‍රතිජීවනය හා සංරක්‍ෂණය කිරීමේ උපදේශක සභාව.
  • යෝධ ඇළ සුරැකීමේ ජනතා ව්‍යාපාරය.
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව.
  • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය.
  • වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය.

ප්‍රාදේශීය දේශපාලන නායකත්වයක් යටතේ ආරම්භ කරන ලද යෝධ වැඩසටහනක් ලෙස නම් කළ යෝධ ඇළ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන වර්ෂ 3ක් ගතවන විට විශාල සමරු ඵලකයකට පමණක් සීමා වී ඇත. මෙම සමරු ඵලකය පිහිටා ඇත්තේ යෝධ ඇළ ගම්මානය ආරම්භ වන ස්ථානයේ ය.

6. යෝධ ඇළ ගම්මානයේ ජන ජීවිතය සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණය


යෝධ ඇළ ගම්මානය බිහි ව ඇත්තේ මෙයට වර්ෂ 30 කට පමණ පෙර අභාවිතයට ගිය යෝධ ඇළ ආශ්‍රිත ව ය. වර්ෂ දහස් ගණනක් ඉපැරණි සජීවී ඇළක් ලෙස පැවති යෝධ ඇළ අභාවිතයට යන ලද්දේ සංවර්ධන ව්‍යාපෘතියක් උදෙසා ගන්නා ලද දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් ලෙසිනි. යෝධ ඇළ ගම්මානයෙහි අවට ගම්වල මුල් පදිංචිකරුවන් සේ ම වෙනත් ප්‍රදේශවලින් පැමිණි ජනතාව ද දැකිය හැකි ය. යෝධ ඇළ ගම්මානය ඉදි වන්නේ යෝධ ඇළ අභාවිතයට යෑම සහ අභාවිතයට ගිය යෝධ ඇළෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ නිසි බලධාරීන් අවධානය යොමු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. යෝධ ඇළ ගම්මානය යෝධ ඇළ තුළ ම ඉදි වී ඇති අතර යෝධ ඇළෙන් එපිට ප්‍රදේශයේ කැළෑ ඉඩම් රජයේ පොස්පේට් සමාගමට අයත් රක්‍ෂිත භූමියක් වේ. එකී හේතුව නිසා මෙම ගම්මානයේ නිවාස ඉදි වීම සහ මානව ක්‍රියාකාරකම් අභාවිතයට ගිය යෝධ ඇළ සහ එහි ඉවුරට දැඩි ලෙස බලපෑම් කිරීමට හේතු වී ඇත.
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සමාජගත වීමේ දී පුරාවිද්‍යා උරුමයට වඩා ආර්ථික සංවර්ධනයට මුල්තැන දුන් බවත්, දේශපාලන දෘෂ්ඨිවාදය ද සමාජ සංවර්ධනයට යොමු වූ බවත්, යෝධ ඇළ පිළිබඳ ඛේදවාචකයේ දී පැහැදිළි වේ. අභාවිතයට ගිය යෝධ ඇළෙහි ඉදි කළ යෝධ ඇළ ගම්මානයේ සමාජ ජීවිත පසු කාලීන ව පුරාවිද්‍යා උරුමය, සංවර්ධනය හා රාජ්‍ය ප්‍රත්පත්ති අතර උභතෝකෝටිකයකට මැදි වී සිටී. ඒ අනුව,


  1. පුරාවිද්‍යාත්මක උරුමයකට හානි වන නිසා යෝධ ඇළ ගම්මානයේ ජනතාවට ඉඩම් හිමිකම අහිමි කොට තිබීම.
  2. රජය විසින් යෝධ ඇළ ගම්මානය ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් ලෙස ලකුණු කර ඡන්ද අයිතිය ලබා දී ඇති අතර රජයේ පහසුකම් වන විදුලිය, මාර්ග, බෝක්කු වැනි පහසුකම් සළසා තිබීම.

පුරාවිද්‍යා උරුමයක් ලෙස සැළකෙන යෝධ ඇළ ආශ්‍රිත යෝධ ඇළ ගම්මානයේ ජීවත් වන ජනතාව ඉඩම් අයිතිය රජය මගින් අහිමිකොට ඇත. එකී හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සිදු කරගැනීම සඳහා පහසුකම් අවම වීම නිසා ආහාර සඳහා ද බහුතර ජන පිරිසකට ගැටලු මතු වී ඇත. මෙම ගම්මානයේ බොහෝ පවුල් තවමත් දරිද්‍රතා මට්ටමින් පෙළෙන අතර සනීපාරක්‍ෂක පහසුකම් පවා අඩු මට්ටමකින් පවත්නා බව නිරීක්‍ෂණය කළ හැකි විය. පානීය ජල පහසුකම් පිළිබඳ තත්ත්වය ද සතුටුදායක නොවේ. ග්‍රාම නිලධාරී වරයෙකුට පමණක් රාජ්‍ය සේවය සීමා වී ඇති මෙම ප්‍රජාවගේ නිවාස හා දේපළ අයිතිය රජය මගින් සහතික කොට නොමැත. වර්ෂ 30 කට අධික කාලයක් ස්ථිර නිවාසවල ජීවත්වන මෙම ප්‍රජාවගේ හෙට දවස පිළිබඳ ප්‍රශ්න මතු වන්නේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ක්‍රියාදාමය මත ය.

මෙම ගම්මානය තුළ රජයේ ක්‍රියාකලාපය ද පුරාවිද්‍යා උරුම විනාශයට බලපා ඇති බව පැහැදිළි ය. යෝධ ඇළ වම් ඉවුර උඩින් දිවෙන මාර්ගය සංවර්ධනය කරනුයේ රජයේ ප්‍රතිපාදනවලිනි. ඓතිහාසික යෝධ ඇළෙහි ඉවුර මත ලංකා විදුලිබල මණ්ඩලය විසින් අධිබල විදුලි රැහැන් ඇද ඇති අතර යෝධ ඇළ තුළ පිහිටි නිවාසවලට විදුලිය ලබා දීම ද සිදු කර ඇත. යෝධ ඇළ ඉවුරේ සිට යෝධ ඇළ මැදින් නිවාස කරා මාර්ග ඉදි කිරීමට ද, ඒවාට බෝක්කු ලබා දීමට ද ප්‍රාදේශීය දේශපාලඥයන් ක්‍රියාකර ඇත.

උක්ත කරුණු අනුව පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත භූමියක ඉදි වූ ගමක් මුහුණ දෙන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි වේ. එක් අතකින් පුරාවිද්‍යා පරිශ්‍රයක ජනාවාස පිහිටූවීම හේතුවෙන් අදාළ පුරා පරිශ්‍රයට සිදු වන හානි සුළුපටු නොවේ. අනෙක් අතින් දීර්ඝ කාලයක් ස්ථීර නිවාස ඉදිකරගෙන පදිංචි ව සිටි ජනතාව ඉවත් කොට පුරාවිද්‍යාත්මක ස්මාරක හෝ නටඹුන් ආරක්‍ෂා කළ හැකි ද යන ගැටලු ව මතු වේ. පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ව විධිමත් තීන්දුවකට පැමිණීමට මෙම ගැටලුවේ දී ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වේ. සංවර්ධනය හා පුරාවිද්‍යා උරුම කළමනාකරණය අතර දෝලනය වන යෝධ ඇළ ගම්මානයෙහි ජනතාව ඉවත්කොට යෝධ ඇළ පුනර්ජීවනය කළ යුතු ද, නො එසේ නම් දැනට ඉතිරි ව ඇති පුරාවස්තු සංරක්‍ෂණය හා උරුම කළමනාකරණය සඳහා ප්‍රජා ජන සහභාගීත්වය ලබා ගන්නේ ද යන ගැටලු මේ මොහොතේ ඉස්මතු ව පවතී. පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ව දේශීය ආකෘතියක අවශ්‍යතාවය මෙවන් ගැටලු සමඟ වඩාත් ඉස්මතු වේ.

7. සමාලෝචනය


ශ්‍රී ලංකාවේ ජල තාක්‍ෂණය පිළිබඳ ප්‍රබල සාධකයක් වූ ඓතිහාසික යෝධ ඇළ, එක්දහස් නවසිය සැත්තෑව දශකයේ අග භාගයේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ඉදි වූ නව ජය ගඟ නිසා අභාවිතයට පත් විය. අභාවිතයට පත් යෝධ ඇළ පිළිබඳ ව නිසි අවධානය අදාළ බලධාරීන්ගෙන් යොමු නොවීම හේතුවෙන් ප්‍රදේශයේ මානව ක්‍රියාකාරීත්වයෙන් ඉවුරු කොටස්වලට හා ඇළ මාර්ගයට විවිධ විනාශයන් සිදු විය. අත්හරින ලද යෝධ ඇළ ආශ්‍රීත ව බිහි වූ ගම්මානයක් ලෙස යෝධ ඇළ ගම්මානය හඳුනාගත හැකි විය. යෝධ ඇළ ගම්මානයේ මුල් කොටසේ යෝධ ඇළ ඉවුර මාර්ගයක් ලෙස භාවිතා කරන අන්දමත්, යෝධ ඇළ මාර්ගයෙහි ජනාවාස ව්‍යාප්ත ව ඇති අන්දමත් නිරීක්‍ෂණය කළ හැකි විය. ගම්මානයේ මැද ප්‍රදේශයේ දී යෝධ ඇළ සහ ඉවුර දැඩි හානියකට ලක් වී ඇති අතර අවසන් භාගයේ ද නිවාස ඉදි කිරීමට ඉවුරු කොටස් කපා ජල මාර්ගය අවහිර කර ඇති අන්දම පැහැදිළි ව දැකිය හැකි විය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත භූමියක ඉදි වූ ගමක් හේතුවෙන් මෙම ගම්මානයේ පදිංචිකරුවන්ගේ ඉඩම් අයිතිය අහෝසිකොට ඇති අතර ආර්ථික හා සමාජීය වශයෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත. නමුත් මෙම ගම්මානයට රජය මගින් විදුලිය, මාර්ග පහසුකම්, ජලය බැස යාමේ පහසුකම් හා ඡන්ද අයිතිය ද ලබා දී ඇත. පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත පරිශ්‍රයක ජනාවාසකරණය සිදු වී ඇත්තේ බලධාරීන්ගේ නොසැලකිළිමත්භාවය හේතුවෙනි. දීර්ඝ කාලයක් ගම්මානයක් ලෙස යෝධ ඇළ ගම ක්‍රියාත්මක වෙමින් පැවති කාල වකවානුවක රජය යෝධ ඇළ ප්‍රතිජීවනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී. ජාතික උරුමයක් වන යෝධ ඇළෙහි පුරාවිද්‍යා උරුමය කළමනාකරණය කිරීම සඳහා යෝධ ඇළ ගම්මානය ඉවත් කළ යුතු ද? යන ගැටලුව මෙහි දී මතු විය. යෝධ ඇළ ගම්මානයේ ජනතාව පුරාවිද්‍යා උරුම කළමනාකරණය හා රාජ්‍ය ප්‍රතිපත්ති මත තවදුරටත් සිර වී ඇත. පුරාවිද්‍යා උරුම කළමනාකරණය පිළිබඳ ව දේශීය ආකෘතියක අවශ්‍යතාවය මෙවන් ගැටලු සමඟ වඩාත් ඉස්මතු වේ.






ආශ්‍රිත ග්‍රන්ථ


Ievers. R.W.(1899). Manual of the north central province, Colombo.

Mendis .G.C. (1944). Ceylon Under the Brtish, Colombo.

Stramge. W.L.(1909) Report on irrigation in Ceylon: it's History, Organization and  Administration, Colombo.

Karunananda, U. B.(2006) Nuwarakalawiya and The note central province under british administration.1833-1900

බණ්ඩාර, දර්ශන, 2012. “පැරණි යෝධ ඇළ වම් ඉවුරු කොටස් පිළිබඳ පුරාවිද්‍යාත්මක ගවේෂණයක්”, පුන්කලස: දෙවන වෙළුම, ජාතික පුරාවිද්‍යා සමුළුව, කොළඹ : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ස කාණ්ඩය, ස භාගය(1964) සංස්, හේමචන්ද්‍ර රාය, කැළණිය: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.



දත්තදායක නාමාවලිය


අනුෂා සඳමාලි, අවු: 24, ග්‍රාම නිලධාරි, යෝධ ඇළ ගම්මානය, එප්පාවල, සම්මුඛ සාකච්ඡාව, 2013.02.06

අර්. ටී. බණ්ඩාර, අවු: 28, සංවර්ධන සහකාර, යෝධ ඇළ ගම්මානය, එප්පාවල, සම්මුඛ සාකච්ඡාව, 2013.02.06

පළුගස්වැව උපරතන හිමි, අවු: 35, පරිවේනාධිපති, ගල්කන්දේ පුරාණ විහාරය, එප්පාවල, සම්මුඛ සාකච්ඡාව, 2013.02.06

එස්. විපුලරත්න, අවු: 44, තැපැල් සේවක, යෝධ ඇළ ගම්මානය, එප්පාවල, සම්මුඛ සාකච්ඡාව, 2013.02.08

ඩී. කේ. තිලකසිරි, අවු: 52, ගොවිතැන, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, යෝධ ඇළ ගම්මානය, එප්පාවල, සම්මුඛ සාකච්ඡාව, 2013.02.08

එච්. එම්. සුමනාවතී, අවු: 51, ගොවිතැන, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, යෝධ ඇළ ගම්මානය, එප්පාවල, සම්මුඛ සාකච්ඡාව, 2013.02.08

Sunday, April 29, 2018

Traditional art in Kottimbulwala Rajamaha Viharaya

කොට්ටිඹුල්වල රජමහා විහාරයේ බිතුසිතුවම්


ප්‍රවේශය


බලංගොඩ ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ව වැදගත් ස්ථානයක් ලෙස කොට්ටිඹුල්වල රජමහා විහාරය හැඳින්විය හැකි ය. උඩරට විහාර බිතුසිතුවම් සම්ප්‍රදායේ සුවිශේෂී මුහුණුවරක් කොට්ටිඹුල්වල විහාර බිතුසිතුවම්වලින් නිරූපණය වේ. මහනුවර රාජධානියේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක පිහිටීමත්, තත්කාලීන ව පැවති දැඩි ග්‍රාමීය බවත් නිසා ම මහනුවර සම්ප්‍රදායේ වෙනස් මුහුණුවරක් පෙන්නුම් කරන ගැමි චිත්‍ර සම්ප්‍රදායක ලක්‍ෂණ ඉස්මතු කරන ආකාරයක් නිරීක්‍ෂණය කළ හැකි ය. මෙම විහාරයට අයත් ඉපැරණි සුවිශාල ගල්ලෙන ඇතුළත බරාඳයේ සීලිමේ ඇති සිතුවම් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ බලපෑම් ප්‍රකට කරවයි. සමකාලීන නාවුක ගමනාගමනය, ලෝකය සහ යුරෝපීයයන්, ශිල්පියා දුටු ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් මෙ මගින් හඳුනාගත හැකි ය. ගල්ලෙනෙහි වියන්තලය පුරා සිත්තම් කරන ලද දිව්‍ය ලෝකයේ විවිධ සිදුවීම් ඇතුලත් වියන්තල සිතුවම මහනුවර සම්ප්‍රදායේ ප්‍රාදේශීය වශයෙන් පැවති ගැමි ලක්‍ෂණ ප්‍රකට කරවයි. එසේ ම මෙම සිතුවමෙහි ඇති මනඃකල්පිත සත්ව රූ සමූහය මහනුවර යුගයේ සිතුවම් අතර අතිශය දුර්ලභ ය. මෑත කාලීන ව නිධන් හොරුන් විසින් විනාශ කරන ලද ගල්ලෙන තුළ පිහිටි කුඩා ස්තූපය අභ්‍යන්තරයේ ධාතු ගර්භයේ ද රහතන් වහන්සේලා නිරූපිත වටිනා සිතුවම් පවතින බව තහවුරු විය. මෙම විහාරයේ බිතුසිතුවම් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ග්‍රන්ථයක් ලෙස පල කර තිබීම කාලෝචිත කටයුත්තකි. එසේ වුව ද දැනට පවත්නා සංරක්‍ෂණ දුර්වලතා හේතුවෙන් ගල්ලෙනෙහි බරාඳයේ සිතුවම් විනාශ මුඛයට යමින් පැවතීම අභාග්‍යයකි. මෙකී විහාර බිතුසිතුවම් පුරාවිද්‍යාත්මක මුලාශ්‍රයක් ලෙස සමකාලීන සමාජ සංස්කෘතික රටාවන් පිළිබඳවත්, ග්‍රාමීය ආකල්ප හා චින්තනය පිළිබඳවත් වැදගත් තොරතුරු සපයනු ලබයි. මෙම විහාරයෙහි බිතුසිතුවම් උඩරට අනෙකුත් විහාර සිතුවම්වලට වඩා සුවිශේෂී වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂිත ය.

1. අධ්‍යයන ක්‍ෂේත්‍රය හැඳින්වීම


වට්ටගාමිණී අභය රාජ්‍ය සමය තෙක් දිවයන ඉතිහාසයකට උරුමකම් කියන බලංගොඩ කොට්ටිඹුල්වල රජමහා විහාරය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන් කෝරළයේ කඳවෙල් පත්තුවේ පිහිටා ඇති රමණීය ස්ථානයකි. මෙම ඓතිහාසික පුද බිමට ප්‍රවිශ්ට වීම සඳහා බලංගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර 2.5 ක පමණ දුරකින් හැරී වැලිගෙපොළ මාර්ගයේ ගොස් වැලිගෙපොළ සිට හටංගල මාර්ගයේ කිලෝමීටර 6 ක පමණ දුරක් යා යුතු ය. කඳු පාමුලක පිහිටි මනරම් භූමි භාගයක රජමහා විහාරය පිහිටා ඇත. ප්‍රවේශ මාර්ගයට මදක් ඉහලින් ස්වභාවික නිර්මාණය වූ විශාල ගල් ලෙන තුළ ඉදිකර ඇති චෛත්‍යය හා පටිමාඝර දැකගත හැකි ය. ගල් ලෙනට මඳක් පහළින් පොල් වත්තක් තුළ ආවාසස්ථානය ඉදි වී ඇත.


(1 සිතියම : අංක 19 වසමෙහි කොට්ටිඹුල්වල රජමහා විහාරයේ පිහිටීම දැක්වේ.)

රජමහා විහාරයේ ගොඩනැගිලි පිහිටා ඇති ආකාරය මෙන් ම එම ගොඩනැගිලිවල ස්වභාවය පිළිබඳව මෙහි දී අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ අනුව ස්වභාවිකව නිර්මාණය වී ඇති ගල් ලෙනට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. රජමහා විහාරයේ පෞරාණිකත්වය මැනවින් විදහාපාන්නේ මෙම ගල් ලෙන යි. මෙය දිගින් අඩි 120 ක් පමණ ද, පළලින් අඩි 28 ක් පමණ ද, උසින් අඩි 23 ක් පමණ ද වේ. (ඥානවිමල, 2001: 179). වාසය කිරීමට සුදුසු අයුරින් කටාරම් කොටා ගල් ලෙන සකස් කර ඇති ආකාරය හඳුනාගත හැකි ය. ලෙන ඉදිරිපසින් මනාව වාතාශ්‍රය ලැබෙන පරිදි පුළුල් බරාඳයක් ඉදිකර තිබේ. එම බරාඳයට ප්‍රවේශ වීම සඳහා ඇති දොරටු දෙකක් දැකගත හැකි ය. ගල් ලෙන කුටි තුනකට බෙදා සකස් කර ඇත. වම් පස කුටියේ බුද්ධ ප්‍රතිමා තුනක් හා විෂ්ණු දේව ප්‍රතිමාවක් වේ. මධ්‍ය කුටිය ප්‍රමාණයෙන් විශාල ය. එ මෙන් ම උසින් ද වැඩි ය. විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, තවත් ප්‍රතිමා කීපයක්, චෛත්‍යයක් සහ කුඩා පිළිම ගෙයක් මේ තුළ ඉදිකර ඇත. දකුණු පස ඉදිකර ඇති කුඩා කුටියේ සූවිසි විවරණය චිත්‍රණය කරයි. 
කොට්ටිඹුල්වල රජමහා විහාරයේ භූමි සැලැස්ම පහත දළ සටහන අනුව ඉදිරිපත් කළ හැකි ය.


(2 සිතියම: කොට්ටිඹුල්වල රජමහා විහාරයේ භූමි සැලැස්ම)

රජමහා විහාරයේ ගොඩනැගිලි ස්ථානගත වීම පිළිබඳ සලකා බැලීමේ දී, ප්‍රධාන ලෙන පිහිටා ඇති මළුවට පහළින් නව සංඝාවාසය ඉදි වී ඇති බව හඳුනාගත හැකි ය. නව සංඝාවාසයට ඉදිරිපසින් පැරණි සංඝාවාසයේ ඉදිරිපස කොටස ශේෂ ව ඇති අයුරු දක්නට හැකි ය. එ නම් පැරණි සංඝාවාසයේ කාමර සතරක් හා ආලින්දයේ කොටසක් ඉතිරි ව ඇත. මෙම ආවාසයන්ට දකුණු දෙසින් මඳක් ඉහළින් ද, ලෙන පිහිටි මළුවට මදක් පහළින් ද ධර්ම ශාලාව දිස් වේ. ලෙන පිහිටි මළුවේ දකුණු පසින් පැරණි බෝධි වෘක්ෂයක් හා ඝණ්ඨාර කුළුණක් ද වේ. වම් පසින් පසු කාලීන ව රෝපණය කරන ලද නව බෝධි වෘක්ෂයකි. විහාරයට බටහිර දෙසින් ගලක කොටන ලද ශ්‍රී පාද ලාංඡනයකි. එය දිගින් අඩි 5 අඟල් 9 ක් ද, පළලින් අඩි 2 අඟල් 11 ක් ද වේ. (ඥානවිමල, 1967 :218).

2. කොට්ටිඹුල්වල රජමහා විහාර බිතුසිතුවම්


 බිතු සිතුවම් වනාහි තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන හා ආගමික අංශයන් පිළිබඳ තොරතුරු ගෙනහැර දක්වන වැදගත් මූලාශ්‍රයක් ලෙස හඳුනාගත හැකි ය. ඒ අතර විහාර බිතුසිතුවම් ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. කොට්ටිඹුල්වල රජමහා විහාරයේ නිරූපිත බිතු සිතුවම් සබරගමුවේ විහාර ආශ්‍රිත මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් අතර ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි. මෙහි කලින්කලට අඳින ලද බිතු සිතුවම් පවතින බව ඒවායෙහි නිර්මාණ ලක්ෂණ අනුව පැහැදිළි ව හඳුනාගත හැකි ය. සැබවින් ම විවිධ රාජ්‍ය සමයන්හි සිදු වූ ප්‍රතිසංස්කරණයන්ට අනුරූප ව සිතුවම්කරණය ද සිදුවන්නට ඇති බවට විශ්වාස කළ හැකි ය. මෙම සිතුවම්හි වස්තු විෂය බොහෝ සෙයින් සාම්ප්‍රදායික මහනුවර කලාවට අනුකූල වුව ද ඒවා නිරූපණය කර ඇති ආකාරයෙහි විශේෂත්වයක් පවතී. (ශ්‍රී ලංකා බිතු සිතුවම්, කොට්ටිඹුල්වල, 1990: 16).

2.1 ගල් ලෙන ඉදිරිපස බරාඳයේ සිතුවම්


කොට්ටිඹුල්වල රජමහා විහාරයේ ඉපැරණි සුවිශාල ලෙනෙහි ඉදිරිපස බරාඳය දඹුල්ල ලෙන් විහාරය සිහිගන්වයි. නමුත් මෙහි ඉදිරිපස බරාඳය දඹුල්ලට වඩා හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන සේ නිර්මාණය කර තිබේ. ගල් ලෙන සකස් කිරීම පිළිබඳ ව ද ප්‍රදේශවාසී ජනතාව අතර ජනප්‍රවාද හා පුරාකතා පවතින බව ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේ දී හඳුනාගත හැකි විය. 
“තමන් මුතුන් මිත්තන්ගෙන් අසා ඇති පරිදි කලින් ලෙනෙහි පිට බිත්තියක් තිබී නැති අතර ලෙන ආවරණය කර තිබී ඇත්තේ තල පැළලි බැඳීමෙනි.” (එම්. ගුණවර්ධන, වයස අවු: 72, සම්මුඛ සාකච්ඡාව, 2012).
කෙසේ වුවත් ලෙනෙහි පිට බිත්තිය ඉදිකර ඇත්තේ පියස්සට ඉහළින් මාලකයක් තිබෙන බව ව්‍යාජ ව පෙන්වමිනි. මෙම කොටස බිතු සිතුවම් සහිත ය. එහි බටහිර කොටසේ විශාල මත්ස්‍ය රූපයක් හා මල් පෝච්චි කිහිපයක සිතුවම් වේ. ඉන් අනතුරුව සමන්, විෂ්ණු, ඝණ දෙවි ආදී දේව රූ කිහිපයක් එම දෙවිවරුන්ට අදාල සත්ව රූ සමඟ නිරූපණය කරයි. නැගෙනහිර කොටසේ බුදුන් වහන්සේ ගේ අභිනිෂ්ක්‍රමණය, රාහුල කුමරා දායාද ඉල්ලීම ආදී බුද්ධ චරිතය විදහාපාන අවස්ථා කිහිපයක් මිශ්‍ර ව නිරූපණය කරයි. මෙම සිතුවම් අතර උතුරු සළුවක් සහිත කොණ්ඩය බැඳ රැවුළු වවාගත් නෙළුම් මල් දරා සිටින පුරුෂ රූප දැක ගත හැකි ය. මෙම සිතුවම් මහනුවර සිතුවම් සම්ප්‍රදායේ ලක්ෂණ විදහාපායි. වර්තමානයේ ද මෙම කොටසේ සිතුවම්හි වර්ණයන්ගේ දීප්තිමත් බව නිසා පසු කාලීන ව නැවත වර්ණ ගැන්වීමක් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි ය.



බරාඳයේ කුළුණු පේළි දෙකක් ඇති අතර ඉදිරියෙන් ද්විත්ව කවාකාර කුළුණු වේ. මැද ආයත චතුරශ්‍රාකාර කුළුණු ආරුක්කු මගින් එකිනෙක සමබන්ධ වී ඇත. මෙය බිත්තියක් ලෙස සකසා ඇති අතර ආයත චතුරශ්‍රාකාර කුළුණු මැද පැන්නුම් කුළුණු ද යොදා නිර්මාණය කර ඇති බව හඳුනාගත හැකි ය. මෙම දිඟු බරාඳයට විවෘත පිට බිත්තියේ විශාල සිතුවම් දැක්වේ.  මැද ඇති විශාල කුටිය ඉදිරිපස කොටසේ මෙම සිතුවම් දැකගත හැකි ය. ලෙනෙහි ප්‍රධාන කුටියට ඇතුළුවන දොරටු දෙ පස පිට බිත්තියේ විශාල දොරටුපාල රූ දෙක බැගින් සිත්තම් කර තිබේ. එක් දොරටුවකට ඉහළින් චාමරධාරී කිඳුරංගනා රූ ද්විත්වයකි. ඒ මධ්‍යයේ හිරු සඳු මඬල දැක්වේ. ග්‍රහ ලෝක සතරක් හා තාරකා දෙකක් ද ඒ වටා වළාකුළු ද දිස්වේ. ග්‍රහ ලෝකයක් දැක්වෙන එක් වෘත්තයක 1888 ලෙස සඳහන් කර තිබීමෙන් ලෙන ඉදිරිපස බිත්තියේ සිතුවම් මේ කාලයේ නිම කරන්නට ඇති බව විස්වාස කළ හැකි ය. සිතුවම්හි ලක්‍ෂණ අනුව මේ අවසන් වරට විහාරයේ සිදු කළ ප්‍රතිසංස්කරණ අවධිය වන්නට ඇති බවට අනුමාන කළ හැකි ය. මැද දොරටුව ඉහළින් ද කිඳුරංගනා රූ දෙකක් ඇති අතර අණ්ඩාකාර රාමුවක් මැද පියාසර රුවක් වේ. දොරටු හැර ලෙනෙහි විශාල කුටියේ පිට බිත්තිය හරස් අතට කොටස් දෙකකට බෙදා විශාල ප්‍රමාණයේ පුද්ගල සිතුවම් නිර්මාණය කර ඇත. මේ අතර දුටු ගැමුණු, ශ්‍රී වික්‍රම රාජසිංහ, පරාක්‍රමබාහු, කෝසල මල්ලිකා, අමරා, මහාමායා දේවිය වැනි රජවරු හා දේවියන් ගේ සිතුවම් මෙන් ම ඝෝරෙය්‍ය, මිගාර, පුණ්ණ, මහධන වැනි ධන කුවේරයන් ගේ රූප ද නිරූපණය කරයි. (ශ්‍රී ලංකා බිතු සිතුවම්, කොට්ටිඹුල්වල, 1990: 13). මෙම සිතුවම් මගින් දැක්වෙන්නේ කවුරුන් ද යන්න සිතුවමට පහළින් තීරුවක දැක්වේ. මෙම සිතුවම් සඳහා නිල්, කළු, රතු, සුදු යන වර්ණ භාවිත කර ඇති අතර බහුල ව සුදු වර්ණය යොදාගෙන ඇත. අනෙකුත් වර්ණ භාවිත වී ඇත්තේ මඳ වශයෙනි. පසුබිම රතු වර්ණයෙන් දිස් වේ. මහනුවර යුගයේ ප්‍රාදේශීය ශෛලියක් විය හැකි ය. ඇඳුම් ආයිත්තම් සමකාලීන යුරෝපීය ආභාසය අනුව නිරූපණය කෙරෙන බව හඳුනාගත හැකි ය.





බරාඳයේ ආරුක්කු සහිත කුළුණු පෙළත් බිත්තියත් අතර සීලිමෙහි ද සිතුවම් දැකගත හැකි ය. බාල්ක නිසා මෙම දිඟු සීලිම පනේල විසි එකකට බෙදී ඇත. වම් පස පනේල තුනෙහි මාර විජය චිත්‍රය දැක්වේ. මීලඟ පනේල තුනෙන් අපාය තුනක දණ්ඩනයට පාත්‍ර වූවෝ දක්වති. මෙම අපායන්හි යම රජු වෙනුවට නඩු විමසන්නේ යුරෝපීය ජාතිකයෙකි. මෙයින් සමකාලීන සමාජයේ පැවති යුරෝපීය බලපෑම ගම්‍යමාන වන බව විශ්වාස කළ හැකි ය. පනේල තුනෙන් මුල් පනේලයෙහි යුරෝපීය ජාතිකයා දකුණතින් විතර්ක මුද්‍රාව දක්වමින් ආසනයක හිඳ සිටිමින් නිරුවත් කාන්තාවන් දෙදෙනෙකුගෙන් යමක් විමසන අයුරු දැක්වේ. මෙ වැනි මුද්‍රාවක් මෙහි යොදා තිබීම ගැටළු සහගත ය. මීළඟට මහද්වීප, සමුද්‍ර, ගංගා හා ගිරි පර්වත ද, මිනිස් වර්ග ද සහිත මිනිස් ලොව නිරූපණය කරයි. මෙහි එක් මුල්ලක පෘතුගීසීන් ලෙස සැළකිය හැකි පිරිසක් රුවල් නැවකින් පැමිණීමක් පෙන්වා තිබීම විශේෂ වේ. මීළඟ කොටසේ නෙළුම් පොකුණ හා කල්පදෘමය ද ඇතුළත් විවිධ රත්නයන් විභූෂිත ශක්‍ර භවන සිත්තම් කර ඇත. මෙහි එක් ස්ථානයක ගල් අඟුරු නෞකාවකින් ඉංග්‍රිසි ජාතිකයන් ගේ පැමිණීම විදහා පෑම විශේෂත්වයක් ගනී. මෙම සිතුවමට පසු ව සූර්ය භවනය, චන්ද්‍ර භවනය හා තවත් දිව්‍ය භවන පහක් සහ ඒවාට අධිගෘහිත දේවතාවන් හා දිව්‍ය ගාන්ධර්ව රූප ද නිරූපිත ය. අවසන් පනේල සයෙන් අනෝතත්ත විල කේන්ද්‍ර කර ගත් හිමාල අඩවිය දැක්වේ. (ශ්‍රී ලංකා බිතු සිතුවම්, කොට්ටිඹුල්වල, 1990: 14). 



මෙම සිතුවමේ පසුබිමෙහි ඡද්දන්ත ජාතකය, ව්‍යාඝ්‍ර ජාතකය, වෙස්සන්තර ජාතකය මෙන් ම දහම් සොඬ වස්තුව ද දැකගත හැකි ය. මෙම සීලිමේ සිතුවම් සඳහා දීප්තිමත් වර්ණ භාවිත වී ඇති අතර වෛවර්ණ සිතුවම් ලෙස හඳුනාගත හැකිය. වර්තමානයේ සංරක්‍ෂණයක් නොමැති වීම නිසා සිතුවම් විනාශ මුඛයට යන අතර ම බොහෝ සේ දුර්වර්ණ වෙමින් පවතී. ලෙන ඉදිරිපස සිතුවම් මෙහි එක් ස්ථානයක දක්වා ඇති 1888 ට අනුව ක්‍රි. ව. 1888 ආසන්න කාලයේ නිර්මාණය වූ සිතුවම් බවට පැහැදිලි ව ම හඳුනාගත හැකි ය. එ මෙන් ම මෙම සිතුවම් විහාරයෙහි මෑත කාලීන ම සිතුවම් ලෙස ද හඳුනාගත හැකි ය.

2.2 ප්‍රධාන පිළිම ගෙයි සිතුවම්


කොට්ටිඹුල්වල රජමහා විහාරයේ පැරණි ම සිතුවම් ලෙන මැද වූ විශාල කුටියෙන් හමු වේ. මෙහි මැද කුඩා කුටියක් දිස්වන අතර ඊට දකුණු පසින් සැතපෙන බුද්ධ ප්‍රතිමාවකි. කුඩා කුටියට වම් පසින් චෛත්‍යයක් ඉදි කර ඇත. මෙම ලෙනෙහි විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවට ඉහළින් ගිරිතලයක් සිත්තම් කර ඇති අතර දඹුල්ලේ අංක 02 ලෙනෙහි ද එ වැනි ම ගිරිතලයක් සහිත ය. ලෙන් පියස්සේ සිට බුද්ධ ප්‍රතිමාව දක්වා විහිදෙන මෙය ඉතා විචිත්‍රවත් ය. ලෙන් පියස්ස මුළුමනින් ම හුණු පිරියම් කර ඇත. මෙම විශාල වියන් සිතුවම ඇඳීම සඳහා ලෙන් පෘෂ්ටය ඔප මට්ටම් කර නොමැත. හුණු පිරියම් කිරීම පමණක් සිදුකර ඒ මත සිතුවම්කරණයේ නියුක්ත ව ඇත. බුද්ධ ප්‍රතිමාවේ සිට විහිදෙන දිඟු, විශාල රැස් මාලාව ද සිතුවමට සම්බන්ධ ය. මෙම සිතුවම අනෝතත්ත විල මූලික කරගනිමින් සිතුවමට නගා ඇත. අනෝතත්ත විලෙහි සිව් දිශාවේ ඇති සිංහ, හස්ථි, වෘෂභ හා අශ්ව මුඛයන්ගෙන් සිව් මහා ගංගාවෝ ගලා යති. අනෝතත්ත විල කේන්ද්‍ර කරගත් හිමව් පියෙස සමස්ත සිතුවමෙන් ම නිරූපණය වේ. කඳු, වන පෙත්, පොකුණු හා ඇත් පන්තියෙන් යුතු හිමව් පියෙස හාත්පස පැතිර යයි. හිමව් පියෙසෙහි සිතුවම් ජවනිකා අතර ධර්ම සාකච්ඡාවේ නියුතු දේවතාවන් දක්නට වේ. වර්තමාන භික්ෂූන් මෙන් ම මෙහි දැක්වෙන රහතුන් ද වටාපත් දරා සිටිති. තවත් කොටසක විද්‍යාධරයන්ය යි සැලකිය හැකි දෙ දෙනෙකු හිමව් මුදුන කරා ගුවනින් පියාසර කරන අතර එක් විද්‍යාධරයකු රුක් සෙවනක ගිමන් හරිමින් සිටී. මේ ආසන්නයෙහි නාරිලතා මලින් යුතු ලියකම් රටාවක් ද වේ. තවත් ජවනිකාවක හිමව් වාසී කිඳුරු පවුලක් ද නිරූපිත ය. ඔවුහු අර්ධ මනුෂ්‍ය හා අර්ධ පක්ෂි ස්වරූපයෙන් යුක්ත ය. ඔවුහු වීණාවක් හා පුෂ්පයක් ද අතැති ව සිටිති. කිඳුරු පැටවා සිය දෙමාපියන්ට පෙරටු ව ගමන් කරයි. ගිරි කුලක්, නාරිලතා වනය, උක් වනයක්, ගිරි ශිඛරයක් හා මල්බර ලිය ගොමුවකට මැදි ව සිටිනා අයුරින් කිඳුරු පවුල දක්වා ඇත. ගව දෙනක විසින් අළුත උපන් සිය පැටවා ගේ වලිගය දිවෙන් පිරිසිදු කරනා අවස්ථාවක් ද නිරූපිත ය. ගව දෙනගේ දාරක ප්‍රේමය මනාව කුළුගැන්වෙන සේ සිත්තම් කර ඇත. හිමව් පියෙසේ තවත් ස්ථානයක සෙබඩුන් දෙදෙනෙකු මධ්‍යයේ පිල් විදහා නටන මොණරකු වේ. මොණරාට මාන බලමින් ගල් කුළකට සැඟවී බලා සිටින ව්‍යාඝ්‍රයකු ද දැක්වේ. ඒ ආශ්‍රිත ව විලක් හා ගඟක් ද, පර්වත, විවිධ වෘක්‍ෂ ලතා ද නිරූපණය වේ.



ඵල දරන ලද කෙසෙල් ගස් හා පැටවුන් ලද වල් ඌරන්ගෙන් සශ්‍රීකත්වය මනාව පිළිබිඹු කරයි. කල්පිත සිංහයන් විය හැකි සතුන් ති දෙනෙකු ද දැක්වේ. පක්‍ෂි, මිනිස් හා අශ්වාකාර හිස් සහිත මේ කල්පිත සතුන් හිමව් පියෙසෙහි ජීවත් වේ. සිතුවමේ තවත් ස්ථානයක නෙළුම් පොකුණක් ද, පැතිරුණු ශාඛා සහිත විශාල වැලක් එතුණු වෘක්‍ෂයක් සෙවනේ දරනගසා සිටින නාගයකු ද දිස් වේ. මෙම විශාල වියන්තල සිතුවම වටා ලියකම් සහිත බෝඩරයක් දක්වා තිබීම විශේෂත්වයක් ගනු ලබයි. සත්ව රූ හා අනෙකුත් අංගයන් තීරු වශයෙන් නොව උචිත පරිදි විශාලනය හෝ ඌණනය කර සිත්තම් කර ඇත. මෙම ජවනිකාවන් ද බෝඩරයකින් වෙන් වේ. අනෝතත්ත විලෙහි ගංගා හා තුරු ලතා අතර මල්කමින් අලංකෘත ය. දෙව් මිනිස් රූ, සත්ව රූ, වෘක්‍ෂ ලතා මෙන් ම කල්පිත සතුන් නිර්මාණයෙහි ලා කලාකරුවා ගේ නිර්මාණශීලීත්වය විශිෂ්ට ය. සාම්ප්‍රදායික මහනුවර යුගයේ සිතුවම් මෙන් ම පසුතලය රතු වර්ණයෙන් ද දක්වා ඇති අතර සුදු, මඳ වශයෙන් යොදන ලද කහ පැහැය හැරුණු විට වෙනත් වර්ණ භාවිත වී නොමැත. රතු හා සුදු වර්ණ බහුල ව භාවිත කරමින් නිර්මාණය කරන ලද සිතුවම් ඉතා විරල ය. මෙම සිතුවම්හි ඝණ රේඛාවන්ට අනුව අවසන් නො කරන ලද සිතුවමක් ලෙසට ද විශ්වාස කළ හැකි ය. (ශ්‍රී ලංකා බිතු සිතුවම්, කොට්ටිඹුල්වල, 1990: 74-94). මෙම සිතුවම නිරීක්ෂණයේ දී පැහැදිලි වන්නේ මෙහි නිර්මාණ ශිල්පියා සාම්ප්‍රදායික මහනුවර යුගයේ ශිල්පීන් මෙන් නොව, සත්ව, ශාක ආදී රූප ඇඳීමේ දී ශෛලීගත ව තමාට ම ආවේණික පුද්ගල ශෛලියක් නිර්මාණය කර ගත්තෙකු බව යි.



මැද කුටියේ කුඩා පිළිම ගෙයි දකුණු පස බිත්තියේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට මුහුණ ලා සැරියුත්, මුගලන් දෑ අගසව්වන් නිරූපණය කරයි. මැද කුටියේ බිත්තියේ ඇතුල් පෘෂ්ටයේ වඩාත් ඉහළින් නෙළුම් මල් දරා සිටින රහතුන් කිහිප දෙනෙකු ගේ සිතුවමක් හුදෙකලා ව දිස් වේ. ඊට අමතර ව මැද කුටියේ බිත්තිය ඇතුළු පෘෂ්ඨයේ වෙනත් සිතුවම් නොමැත. ලෙනෙහි මැද කුටියේ වම් පස චෛත්‍යයට ආසන්න ව හුණු බදාම ස්ථරයට යටින් සිතුවම් ඇති බව හඳුනාගත හැකි ය. මේ අනුව කලින් කල වූ ප්‍රතිසංස්කරණවල දී ඇතැම් සිතුවම් කොටස් මකා දමා ඇති බව පැහැදිලි ය. සැතපෙන බුද්ධ ප්‍රතිමාව සහිත ආසනය මත ද පත්‍ර දෙකක් සහිත රතු පැහැ මල් විසිරී ඇති ලෙස නිර්මාණය කර ඇති අතර පසුකාලීන සුණු පිරියම් කිරීම්වල දී එම මල් මෝස්තර මැකී ගොස් ඇත. මැද කුටියෙහි දිස්වෙන දැවයෙන් නිම කරන ලද මලසුන ද විචිත්‍රවත් සිතුවමින් යුක්ත ය. සොළොස්මස්ථානයත්, එය වන්දනා කරනු ලබන බැතිමතුනුත් නිරූපිත ය. සොළොස්මස්ථානයන්හි අනුපිළිවෙල අනුව සිත්තම් නො කළ ද වෛවර්ණ දීප්තිමත් සිතුවම් ය. මහනුවර සම්ප්‍රදායේ සිතුවම්හි උසස් කලා ලක්‍ෂණ මෙ මඟින් විදහාපාන අතර දක්‍ෂ ශිල්පියකු අතින් නිමවන්නට ඇති බැව් විශ්වාස කළ හැකි ය. මිනිස් රූපයන්හි පරිමාණයන් ද විහාරයේ අනෙකුත් සිතුවම් හා සැසඳීමේ දී ඉහළ අගයක් ගනු ලබයි. මෙ නිසා මහනුවර යුගයේ පසුකාලීන ප්‍රතිසංස්කරණයකට සමගාමී ව හෝ යම් පුද්ගලයෙකු විසින් කළ ප්‍රදානයකට අනුව නිර්මාණය වූ මලසුන් පෙළක් බවට විශ්වාස කළ හැකි ය.




2.3 ප්‍රධාන පිළිම ගෙය තුළ වූ කුඩා පිළිම ගෙය


ලෙනෙහි මැද කුටියේ ඇති උප පිළිම ගෙය ඉතා කුඩා කුටියක් ලෙසින් දිස් වේ. මෙය දාරුමය සොල්දරයකින් ද යුක්ත ය. එහි ඉදිරිපස දොරටුව දෙපස බිත්තියේ අර්ධ උන්නත ව බදාමයෙන් නිම කළ දොරටුපාල රූ ද්විත්වයකි. ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේ දී ලද දත්ත අනුව ප්‍රදේශවාසීන් ගේ විශ්වාසය ලෙන් විහාරය තුළ මුලින් ම ඉදි වූයේ මෙම කුඩා පිළිමගෙය වන්නට ඇති බව යි. මෙම කුටියෙහි ඉදිරිපස ඇතුළත බිත්තියෙහි සීලිම දක්වා ම විශාල මකරුන් දෙදෙනෙකු උසුලා සිටින විශාල කීර්තිමුඛයක් සහිත මකර තොරණක් මූර්තිමත් කර ඇත. ඒ යට සිරස්පතක් සහිත සමවත් සුවයෙන් වැඩහිඳින කුඩා බුද්ධ ප්‍රතිමාවකි. ශිව දෙවියන් ඇතුළු දෙවිවරු ස දෙනෙක් මකර තොරණ පසුපස පෙළට මූර්තිමත් කර ඇත. කීර්ති මුඛයට උතුරු පසින් සතර බ්‍රහ්මයන් ද, දැලි මඩුළු සහිත ශ්‍රද්ධාවාස බ්‍රහ්මයෙකුත්, චතුර්භුජ ඉන්ද්‍රයාත්, ද්වවිභූජ විෂ්ණුත් නිරූපණය කෙරේ. (ශ්‍රී ලංකා බිතු සිතුවම්, කොට්ටිඹුල්වල, 1990: 14). වන්නි බුවනෙකබා රාජ්‍ය සමයේ ප්‍රධාන ලෙන තුළ පිහිටි චෛත්‍ය ඉදි කෙරුණු බව සඳහන් වේ. (ඥානවිමල, 2001: 180). එනම් ගම්පොළ යුගය වේ. වන්නි බුවනෙකබාහු රජු සිව්වන පරාක්‍රමබාහු හා සිව්වන බුවනෙකබාහු රාජ්‍ය සමයන් අතරතුර රජ පත් ව සිටි බව සඳහන් වේ. (පරණවිතාන සහ නිකොලස්, 2004: 407). මෙම නිර්මාණය මොහු විසින් සිදු කරන ලද ප්‍රතිසංස්කරණයන්ට සමගාමී ව සිදු වූවක් විය හැකිය. කුඩා පිළිමගෙයෙහි මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමාව හා මූර්ති ගම්පළ යුගයේ කලා ලක්‍ෂණ විදහාපායි. ගම්පළ ලංකාතිලකය, ගඩලාදෙණිය වැනි විහාරයන්හි මෙවැනි මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී ඇත. මේ අනුව මෙම මූර්ති කොටස ගම්පළ යුගයේ දී වන්නි බුවනෙකබාහු ගේ ප්‍රතිසංස්කරණ අනුව සිදුවන්නට ඇති බව විස්වාස කළ හැකි අතර මකර තොරණින් මෙ කල පැවති හින්දු ආභාසයේ බලපෑම මනාව නිරූපනය වේ. නමුත් මෙහි අඳින ලද සිතුවම් මහනුවර සමයට අයත් වුව ද එම සිතුවම්හි පවතින ලක්‍ෂණ අනුව කඩින්කඩ විවිධ පුද්ගලයන් විසින් සිත්තම් කරන්නට ඇති බවට විශ්වාස කළ හැකි ය. සිතුවම්හි පරිමාණ ලක්‍ෂණ පිළිබඳ සලකා බලන විට ද සිතුවම් අඳින ලද කාලයන්හි පරස්පරතාවක් දැකිය හැකි ය. ඇතුළත වම්පස බිත්තියේ සම්පූර්ණයෙන් ඉදිරියට හැරී සිටින තිරස් අතට අඳින ලද රහතන් වහන්සේලා දෙ පෙළකි. දකුණුපස බිත්තියේ ඉහළ පේළියේ ද එ වැනි ම රහත් රූප තුනක් ඇතත් ඉතිරි රහත් රූපය හා පහළ පෙළෙහි රහත් රූප පාර්ශවදර්ශී අයුරින් දැක්වේ. මෙම රූ කිහිපය ඝණ තොල් සඟලක්, විශාල නිකටක් හා නොසැළකිළිමත් රූප රේඛා යෙදීම අනුව සාම්ප්‍රදායික මධ්‍යකාලීන කලා ලක්‍ෂණ බෙහෙවින් පරිහාණි මුඛයට පත් වූ අයුරක් ප්‍රකාශ වේ. ඇතුළත දොරටුව දෙපස විශාල ව අඳින ලද රාජසභික නිල ඇඳුම් ලා ගත් සක් පිඹින්නන් දෙපළකි. මෙම කුටියෙහි සීලිම මල් හා ලියකමින් හැඩගන්වා ඇත. කුටියෙහි බිත්ති අනුව කුටිය ඉතා පැරණි බව හඳුනාගත හැකි අතර කලින් කල මෙහි යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වී ඇති බව සිතුවම් හා මූර්ති ආශ්‍රයෙන් මනාව පිළිබිඹු වේ.



2.4 ධාතුගර්භ සිතුවම්


ලෙනෙහි විශාල කුටියේ වම්පස චෛත්‍යයක් ඉදිකර ඇත. මෙය ෂ වන බුවනෙකබා රජු (1273-1284) විසින් ඉදිකරන ලද්දක් බව සඳහන් වේ. (ඥානවිමල, 1967: 217). එ මෙන් ම වන්නි බුවනෙකබා රජු විසින් කළ බවට ද සඳහන් වේ. (ඥානවිමල, 2001: 180). මේ අදහස එක ම කතුවරයකු විසින් දක්වන නිසා මෙම තොරතුරු පිළිබඳ විමසා බැලිය යුතු ය. වන්නි බුවනෙකබාහු යනු III වන බුවනෙකබාහුය. (පරණවිතාන සහ නිකොලස්, 2004: 407). ගම්පළ යුගයේ සිව්වන පරාක්‍රමබාහු සහ සිව්වන බුවනෙකබාහු රාජ්‍ය සමයන් අතරතුර වසර 16 ක කාලයක් වන්නි බුවනෙකබාහු සහ සවුළු විජයබාහු නම් නරපතීන් පාලනය කර ඇතත් කාල වකවානු නිශ්චිත ව හඳුනාගත නොහැකි ය. මෙ නිසා චෛත්‍යය ධාතුගර්භය අනුව මෙය ගම්පල යුගයේ නිර්මාණය වූවා ද යන්න විමසා බැලීමෙන් වන්නි බුවනෙකබා රජු විසින් ඉදිකරන්නට ඇති බවට අනුමාන කළ හැකි ය. මීට වසර කිහිපයකට ඉහත දී නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක් වූ ඉහත චෛත්‍යය පේසා වළළු මට්ටම තෙක් ම විනාශ කර තිබුණි. නමුත් වර්තමානයේ දී නැවතත් චෛත්‍යය පිළිසකර කෙරී ඇත. මෙම පේසා වලලු මට්ටමේ සිට පහළට සමචතුරස්‍රාකාර ධාතුගර්භයක් විය. මෙය සිතුවම් සහිත ධාතුගර්භයක් වීම ඓතිහාසික තොරතුරු ගෙනහැර පෑමෙහි ලා වැදගත් ස්ථානයක් ගනී. එක ම දිශාව බලා ඉදිරිපසට හැරී බලා සිටින රහත් රූ පේළි දෙකක් මෙහි දැක්වේ. පිටුපස පේළිය ඉදිරි පෙළට වැසෙන අයුරින් සිත්තම් කර ඇත. දෙවුර වැසෙන අයුරින් චීවරය දක්වයි. මෙම රූවලට ඉහළින් කළු තීරු දෙකක් අතර රතු තීරුවක් දිස් වේ. විහාරයේ අනෙකුත් සිතුවම් හා සැසඳීමේ දී ඊට තරමක් වෙනස් බවක් හා නිර්මාණශීලී කුසලතාව ඉහළ මට්ටමක පවතින බව ද දැකගත හැකි ය. නිධන් සොරුන්ගෙන් මග හැරී ගිය මෙහි තැන්පත් කර තිබූ රන් ආලේපිත හා ලෝකඩ බුද්ධ ප්‍රතිමා කීපයක් ද වේ. මෙම ප්‍රතිමා කලාත්මක බවින් උසස් වන අතර මකර තොරණ යට බුදුන් වැඩ සිටීම විශේෂිත ය. මේ අනුව මෙම ප්‍රතිමා ගම්පළ යුගයේ මූර්ති කලා ලක්‍ෂණ පෙන්වයි. ගම්පළ ලංකාතිලකය, ගඩලාදෙණියේ බුද්ධ ප්‍රතිමා ද ප්‍රධාන වසයෙන් මෙම ක්‍රමයට නිම වී ඇත. ප්‍රධාන කුටියේ උප පිළිමගෙයෙහි ද ඇත්තේ මෙ වැනි ම මකර තොරණක් සහිත බුද්ධ ප්‍රතිමාවන් ය. මෙ නිසා මෙම චෛත්‍යය ගම්පළ යුගයේ ඉදි කරන්නට ඇති බවට අනුමාන කළ හැකි ය. එසේ නම් මෙය ෂ වන බුවනෙකබාහු ගේ නොව වන්නි බුවනෙකබාහු විසින් කළ ප්‍රතිසංස්කරණයන්ට අනුව ඉදි වූවක් බවට අනුමාන කළ හැකි ය. 




2.5 ප්‍රධාන පිළිම ගෙයට වම් පසින් ඇති පිළිම ගෙය


කොට්ටිඹුල්වල රජමහා විහාර තඹ සන්නසට අනුව ප්‍රධාන කුටියට වම් පස කුටිය අනෝමදස්සී තෙරුන් විසින් ඉදිකර වූවකි. මෙහි බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක් සහ ගරුඬ පක්ෂී ආසනගත ව සිටින විෂ්ණු දේව රූපයක් මූර්තිමත් කර ඇත. මෙම කුටියේ සිතුවම් ගත් විට වියන් තලය, මැද කුටියේ විශාල සිතුවමින් ආභාසය ගෙන නිමවූවක් බවට හඳුනාගත හැකි ය. නමුත් එම සිතුවමට වඩා කලාත්මක ලක්‍ෂණ අතින් උසස් ය. මෙම සිතුවමෙහි මානව හා සත්ව රූ චලනය වන අයුරු මැනවින් නිරූපිත ය. මෙහි දැක්වෙන්නේ සාම ජාතකයෙහි විවිධ අවස්ථාවන් ය. වෘක්ෂලතා ශෛලීගත අයුරින් දක්වා ඇති අතර පත්‍ර තද කොළ පැහැයෙන් යුක්ත වේ. මානව රූ පරිසරයට අනුගත වී සිටින ආකාරය මැනවින් නිරූපිත ය. බිත්ති මත පුදවත් හිස තබා යන කුල කාන්තාවන් හා ඔවුන්ගේ පරිචාරිකාවන් ද දැක්වේ. නෙළුම් කැකුළු දරා සිටින වලාකුළුවලින් මතුවන අයුරින් සිත්තම් කරන ලද රහත් රූප ද වේ. විෂ්ණු දේව ප්‍රතිමාව ආසන්නයේ අමුඩය ගසා හිසේ තලප්පාවක් බැඳි සක් පිඹින්නකු සහ අර්ධ යුරෝපීය ඇඳුම් ආයිත්තමින් සැරසුනු මුරකරුවකු චිත්‍රණය කරයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය සමයේ කළ නිර්මාණයක් වූව ද මෙහි විශේෂිත ප්‍රාදේශීය ශෛලියක් මෙන් ම පුද්ගල ශෛලියක් ද හඳුනාගත හැකි ය.



2.6 ප්‍රධාන පිළිම ගෙයට දකුණු පසින් ඇති පිළිම ගෙය


ලෙනෙහි ප්‍රධාන කුටියට දකුණු පසින් සූවිසි විවරණය සහිත කුටියකි. මෙය මලිදූවේ ගුණානන්ද නම් හිමිනමක් විසින් නිම කරන ලද්දක් බව එහි සඳහන් වේ.
 ර්‍ණමලිදූවේ ගුණානන්ද හිමියන් වසර සියයකට පමණ පෙර කොට්ටිඹුල්වල රජමහා විහාරයට පැමිණ ආරණ්‍යවාසී ව කුටියක් ඉදිකර එහි වැඩ විසූ බව සඳහන් වේ. විහාරයේ දියුණුවට අතිරේක අනුග්‍රහයක් ලබා දුන් හිමිනමකි. සූවිසි විවරණය සහිත කුටිය මලිදූවේ ගුණානන්ද හිමියන් විසින් ඉදි වූවක් බව සඳහන් වේ. එහි ගල් උළුවස්ස එම ස්ථානයේ පසුව සකස් කර තැබූවක් බවට විශ්වාස කරයි.” (ජී. බ්‍රාහ්මණහාමි, වයස අවු: 82, සම්මුඛ සාකච්ඡාව, 2012).
මේ අනුව මෙම කුටියේ සිතුවම් වසර සියයක් පමණ පැරණි විය හැකි අතර සීලිමේ නෙළුම් මල් මෝස්තර පමණක් දිස් වේ. වර්ණයන්ගේ දීප්තිමත් බව අනුව මෑත කාලීන සිතුවම් බවට පහසුවෙන් හඳුනාගත හැකි ය. ඇතුළත බිත්තියේ මෙම කුටිය ඉදි කරන ලදැයි සැළකෙන මලිදූවේ ගුණානන්ද හිමියන්ගේ සිතුවමක් දැක්වේ.


3. කොට්ටිඹුල්වල රජමහා විහාරයේ බිතු සිතුවම්වල ශෛලිය


කොට්ටිඹුල්වල විහාරයේ සමස්ත බිතු සිතුවම් පිළිබඳ සළකා බැලීමේ දී සාම්ප්‍රදායික මහනුවර යුගයේ සිතුවම් ලෙස හඳුනාගත හැකි ය. මහනුවර යුගයේ සිතුවම් ශෛලිය ප්‍රධාන කොටස් තුනක් යටතේ දැක්විය හැකි ය. එනම්, 

  • යුගයේ ශෛලිය
  • ප්‍රාදේශීය ශෛලිය
  • පුද්ගල ශෛලිය
යනුවෙනි. ඒ අනුව මෙම සිතුවම් මහනුවර යුගයේ ශෛලියට අයත් වුව ද යුගයෙන් යුගයට එය වෙනස් වී ඇති ආකාරයක් පැහැදිලි ව හඳුනාගත හැකි ය. මැද කුටියෙහි වියන්තල සිතුවම හා ඊට වම්පස කුඩා කුටියෙහි වියන්තල සිතුවම් පරීක්ෂා කිරීමෙන් මේ බැව් මනාව පැහැදිලි වේ. මැද කුටියේ උප පිළිමගෙයි රහත් රූප විමසීමේ දී එක් පුද්ගලයකු විසින් නිර්මාණය කළ සිත්තම් නොවන බව පැහැදිලි වේ. ඒ අනුව පුද්ගල ශෛලියෙහි වෙනස්කම් මැනවින් හඳුනාගත හැකි ය. ධාතු ඝර්භ සිතුවම් මෙම රජමහා විහාරයේ පැරණිම සිතුවම් විය හැක්කේ චෛත්‍යය ගම්පළ යුගයේ වන්නි බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදි වූ බවට විශ්වාස කළ හැකි බැවිනි. ප්‍රධාන කුටියට වම්පස කුටියේ සිතුවම් ක්‍රි. ව. 1808 ට ආසන්න කාලයට අයත්වන බව සන්නසට අනුව තහවුරු වේ. ලෙනෙහි බරාඳයේ සිතුවම් එහි එක් ස්ථානයක දක්වා ඇති 1888 අංකය අනුව ක්‍රි. ව. 1888 ට ආසන්න කාල වකවානුවේ නිර්මාණය වූ සිතුවම් යැයි විශ්වාස කළ හැකි ය. මෙම සිතුවම් මගින් රජමහා විහාරයේ යම් යම් කාල වකවානුවල සිදු වූ ප්‍රතිසංස්කරණ පිළිබඳ තහවරු කරගත හැකිවීම නිසා ඓතිහාසික, සාමාජීය, ආගමික, ආර්ථික තොරතුරු ඉදිරිපත් කෙරෙන වැදගත් මූලාශ්‍රයක් ලෙස ද හඳුනාගත හැකි ය. සබරගමුවේ විහාරාරාම ආශ්‍රිත සිතුවම් හා සැසඳීමේ දී කොට්ටිඹුල්වල රජමහා විහාරයේ සිතුවම් ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි.

4. රජමහා විහාරයේ බිතුසිතුවම්වලින් නිරූපිත සමකාලීන සමාජය


කොට්ටිඹුල්වල රජමහා විහාරයේ බිතු සිතුවම් නිරීක්‍ෂණය කිරීමේ දී යටත් විජිත පාලන සමයේ පැවති විදේශාධිපත්‍යය සමාන්‍ය ජනතාවට සිදු කළ බලපෑම පිළිබඳ ප්‍රබල නිදර්ශනයක් හඳුනාගත හැකි යග විහාරයේ සුවිසල් ගල්ලෙනෙහි ඉදිරිපස බරාඳයේ සීලිමෙහි ඇති සිතුවම් ඒ සඳහා කදිම නිදසුනකිග සමාන්‍ය ගැමි ජනතාව අතර මුල්බැස ඇති අපාය යන සංකල්පයේ යම රජුගේ ස්ථානයට පත් කර ඇත්තේ යුරෝපීය ජාතිකයෙකි. එමගින් ප්‍රාදේශීය ගැමි ජනතාව උපක්‍රමශීලී ව යුරෝපීන්ගෙන් සිදු වූ අකටයුතුකම්වලට ඇති විරෝධය උපහාසාත්මක ව දක්වන ලද බව පෙනේග යුරෝපීයන්ගේ කුරිරු බව පෙන්වීමට මෙවන් උපක්‍රමයක් භාවිතා කළා විය හැකි යග සමකාලීන ගැමි සමාජ තත්ත්වය හොඳින් නිරූපිත සිතුවම් සමූහයක් වේග ලෙනෙහි ප්‍රධාන කුටියේ ඇති දැව මල් ආසනයෙහි සොළොස්මස්ථාන සිතුවම් කර ඇති අතර මේ පිළිබඳ ජනයා තුළ වූ දැනුවත්භාවයත්ල එම ස්ථාන නැරඹීම සඳහා වන්දනා ගමන් හෝ චාරිකා පවතින්නට ඇති බවත් එම සිතුවමින් පෙනී යයි. මෙම සිතුවම්වල ඇඳ ඇති මානව රූප මගින් සමකාලීන සමාජ ක්‍රමය පිළිබඳ තොරතුරු වටහාගත හැකි ය. කලා ශිල්පියාට තම නිර්මාණවලට පදනම් වන්නේ සමකාලීන සමාජ රාටාව ම නිසා ඔහු අඳින සිතුවම්වල ද සමකාලීන සමාජ ලක්‍ෂණ ගැබ්වේ. මහනුවර යුගයේ ගැමි කලා සම්ප්‍රදායක් පෙන්නුම් කිරීමට මෙම විහාර බිතු සිතුවම් සමත් ව ඇත්තේ ප්‍රධාන අග නගරයෙන් ප්‍රත්‍යන්ත ව පිහිටීම නිසා බව හඳුනාගත හැකි ය. වැඩි වශයෙන් ජාතක කතාවල නිරූපිත මානව රූප සහ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්ල ආභරණල නිවාසල ගෘහ උපකරණ හා චර්යාවන් ප්‍රාදේශීය අනන්‍යතාවක් පෙන්වයි.

5. බිතුසිතුවම්වල සංරක්‍ෂණ මට්ටම හා හායන තත්ත්වය


ඓතිහාසික කොට්ටිඹුල්වල රජමහා විහාරය ශතවර්ෂ ගණනාවක් අව් වැසි ආදී ස්වභාවික උපද්‍රවයන්ට මුහුණ දෙමින් අද දක්වා පැවතියේ එහි නඩත්තු කටයුතු හා සංරක්‍ෂණ කටයුතු මනාව පවත්වාගැනීම හේතුවෙනි. නමුත් වර්තමානය වන විට ඉපැරණි බිතු සිතුවම් කරුණු කිහිපයක් මත විනාශය කරා ගමන් ගන්නා අන්දමක් හඳුනාගත හැකි වේ. මෙම විහාර බිතුසිතුවම්වල වත්මන් සංරක්‍ෂණ මට්ටම හා සිදු ව ඇති විනාශයන් සංක්‍ෂිප්ත ව පහත පරිදි දැක්විය හැකි ය. 

  • බරාඳයේ ඉදිරිපස බිත්තියේ ඇති පුද්ගල රූප නිරූපිත බිතු සිතුවම් හිරු රශ්මිය හේතුවෙන් ඉරිතලා ගොස් ඇති අතර එනිසා පතුරු ගැලවී යාමේ තර්ජනයකට ද මුහුණ පා ඇත.
  • බරාඳයේ සීලිමෙහි සිතුවම් වැසි ජලය කාන්දු වීම හේතුවෙන් හායනයට ලක් ව විනාශ වෙමින් පවතී.
  • උක්ත සඳහන් සිතුවම්වලට ජලය කාන්දු වීම නිසා සිතුවම් බොඳ වීමේ හා මැකී යාමේ ස්වභාවයක් දැකිය හැකි ය.
  • සීලිමෙහි ඇති දැව දිරා යාම නිසා ද වටිනා සිතුවම් සමූහයක් විනාශ මුඛයට යමින් පවතී.
  • වර්තමානයේ ඉදිරිපස බරාඳයේ වහළ පළිසකර කළ ද, හායනයට ලක්වන සිතුවම් කෙරෙහි දක්වන අවධානය සීමිත ය.
(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2012)

සමාලෝචනය


ජනප්‍රවාදගත තොරතුරු අනුව කොට්ටිඹුල්වල රජමහා විහාරයේ ඉතිහාසය වට්ටගාමිණී අභය රාජ්‍ය සමය තෙක් දිව යයි.  නමුත් වර්තමානයේ මෙම ස්ථානයේ දක්නට ඇති සාක්‍ෂ්‍ය අනුව ගම්පොළ යුගයේ පමණ සිට යළිත් වරින්වර ප්‍රතිසංස්කරණයන් සිදු වී ඇති බව හඳුනාගත හැකි ය. නමුත් මෙම විහාරයෙහි ඇති බිතුසිතුවම් බොහොමක් මහනුවර යුගයට අයත් බව නිරීක්‍ෂණය කළ හැකි ය. ගල් ලෙනෙහි ප්‍රධාන කුටියේ වියන්තල සිතුවම දැනට දක්නට ඇති පැරණි ම සිතුවම් වශයෙන් දැක්විය හැකි ය. එහෙත් විහාරයෙහි වූ මූලාශ්‍ර අනුව එම කුටියෙහි ඇති ස්තූපයේ ධාතු ගර්භයේ සිතුවම් ඉපැරණි විය යුතු ය. සමස්ත ගල්ලෙනෙහි ඇතුලත් සිතුවම් මහනුවර යුගයේ ලක්‍ෂණ ප්‍රකට කළ ද වරින්වර සිදු වූ ප්‍රතිසංස්කරණයන්ට අනුරූප එම සිතුවම්වල ශෛලීය ලක්‍ෂණ කාලානුරූප ව වෙනස් වී ඇති අයුරු හඳුනාගත හැකි ය. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් පිළිබිඹු වී ඇත්තේ සමකාලීන සිත්තරුන් ජීවත් වූ සමාජ, ආර්ථික හා දේශපාලනික පසුබිම බව මැනවින් අවබෝධ කරගත හැකි වේ.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


ඥාණවිමල හිමි, කිරිඇල්ලේ (1967). සපරගමු දර්ශන, කර්තෘ ප්‍රකාශනයකි.

ඥාණවිමල හිමි, කිරිඇල්ලේ (2001). සපරගමුවේ පැරණි ලියවිලි, නුගේගොඩ: මානව හිතවාදී ලේඛක පර්ෂදය. 

චුටිවොංග්ස්, නන්දන, ලීලානන්ද ප්‍රේමතිලක සහ රෝලන්ඞ් සිල්වා (1990). ශ්‍රී ලංකා බිතු සිතුවම්, කොට්ටිඹුල්වල, කොළඹ: ශ්‍රී ලංකා පුරාවිද්‍යා අධිකාරිය.

පරණවිතාන, එස්. සහ සී. ඩබ්ලිව්. නිකොලස් (2004). සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසයක්: ආදිතම යුගයේ සිට 1505 දී පෘතුගීසීන්ගේ පැමිණීම දක්වා, (පරිවර්තන සංස්කරණය - එස්. බී. හෙට්ටිආරච්චි) පරිවර්තන සංස්කාරක ප්‍රකාශනයකි.

සෝමතිලක, එම්. (2002). මහනුවර සම්ප්‍රදායේ බෞද්ධ බිතු සිතුවම් කලාව, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.