“බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රවලින් හෙළිවන පරුමකවරුන්ගේ උසස් සමාජීය පසුබිම තහවුරු කෙරෙන තනතුරු පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්”
ප්‍රවේශය
ලක්දිව වංසකතා රචනය ආරම්භ වන්නේ, ක්‍රි.ව. හතරවන සියවසේ පටන් ය. එනම්, මහින්දාගමනයෙන් සියවස් අටක් පමණ ඉකුත් වූ පසුව බව කිව හැකි ය. මෙ කල අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් නව පාලන රටාවක් ස්ථාපනය වී තිබුණි. මෙ රට වංසකතා ගෙනහැර දක්වන ආගමික ඉතිහාසය අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් රචනා වීම කෙරේ මෙය හේතුවක් විය. දිවයිනේ ප්‍රාදේශීය ඉතිහාසය ජාතික ඉතිහාස ධාරාවෙන් බැහැර ව යටපත් ව යෑම කෙරෙහි මෙම තත්ත්වය ඍජුව ම බලපෑවේ ය. ප්‍රධාන වශයෙන් මෙ රට ප්‍රාදේශීය ව සැලකිය යුතු මට්ටමේ පාලනාධිකරියක් ක්‍රියාත්මක වූ බවට රෝහණ රාජ්‍යයෙන් හමුවන අභිලේඛන මූලාශ්‍ර සාක්ෂි දරයි. එපමණක් නොව දිවයිනේ සෑම පළාතකින් ම පාහේ හමුවන අභිලේඛන මූලාශ්‍ර අනුව ප්‍රාදේශීය වශයෙන් නිල තනතුරු හිමි වූ කොට්ඨාසයන් විසූ බවට අනාවරණය වේ. මෙවන් අභිලේඛන මූලාශ්‍ර අතර බහුල ව හමුවන අභිධානයක් ලෙස “පරුමක” යන්න හඳුනාගත හැකි ය. මූලාශ්‍රගත තොරතුරු අනුව ඔවුහු තත්කාලීන සමාජයෙහි යම් බලයක් සහ ප්‍රමුඛතාවයක් සහිත ව විසූවන් බව පැහැදිලි වේ. මෙම ඓතිහාසික විමර්ශනයේ දී මෙම “පරුමක” අභිධානය ලද්දන් කවුරුන් ද? ඔවුන් සමාජයෙහි නිල තනතුරු හොබවමින් කවර තරාතිරමක ස්ථානගත වූයේ ද? යන්න පිළිබඳ ව කරුණු පෙළගැස්වීමට අපේක්ෂිත ය.
01. හැඳින්වීම
ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස අතර කාලපරිච්ඡේදයේ ලාංකේය සමාජ ස්ථරායනයේ ඉහළින් වැජඹුණු පිරිසක් ලෙස පරුමකවරු හඳුනාගත හැකිය (Hettiarachchi,1972:76). මහින්දාගමනයත් සමග ව්‍යාප්ත වූ ලක්දිව අක්ෂර කලාව නිසා සංඝාරාම පූජාවන්හි දී ලෙන් ලිපි ලියවීමේ ක්‍රමයක් ආරම්භ විය. පරුමක යන අභිධානය මෙවන් අභිලේඛන අතර සුලබ ව හමුවන්නකි. මෙම පරුමක යන අභිධානය ලද්දන් ක්‍රි.පූ. තෙවන සියවසේ දී පවා නිලතනතුරු හොබවමින් ආරාම පූජාවන්හි නිරත වී අභිලේඛන කරවීම අනුව ක්‍රි.පූ. තෙවන සියවසට පෙර සිට එනම්, මහාන්දාගමනටත් පෙර සිට පරුමක යන අභිධානය පැවති බව ස්ඵුඨ කරයි. එසේ නොවී නම්, ක්‍රි.පූ. තෙවන සියවස වන විට ඔවුහු ලබා සිටි උසස් සමාජ තත්ත්වය එකවර ළඟා කර නොගත්තක් වන බව පැහැදිලි ය.
දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදු වූ මහින්දාගමනයත් සමග ලක්දිව සිසාරා විහිද ගිය ආගමික ප්‍රබෝධය අනුව සමකාලීන සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කරන ලද කොටස් ඊට අනුග්‍රහ දැක්වීම සඳහා නිරතුරු ව ඉදිරිපත් වූහ. එහි දී රජු, මැති ඇමතිවරු මෙන් ම රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ ඉහළ නිලතල දැරූ පුද්ගලයන් ප්‍රමුඛ ව බෞද්ධාගමේ උන්නතියට කටයුතු කළා සේ ම ප්‍රාදේශීය වශයෙන් ඉහළ සමාජ මට්ටමක් ඉසිලූ පරුමක, ගමික, බත ආදී අභිධාන ලද්දන් ද සිය අප්‍රතිහත ධෛර්යය බෞද්ධාගමේ ප්‍රබෝධය උදෙසා කැප කළ බවට බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර සාක්ෂි දරයි. විශේෂයෙන් මෙම විමර්ශනයේ දී උක්ත පරුමක අභිධානය ලද්දන් පිළිබඳ ව පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ. ප්‍රකාශිත මූලාශ්‍ර මත මෙම විමර්ශනය සිදු වුව ද වර්තමානයේදී ද මොවුන් පිළිබඳ ව අධ්‍යයනය කළ හැකි බොහෝ බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර වනගත ව හෝ වෙනයම් අයුරකින් යටපත් ව පැවතිය හැකි ය. පවතින මූලාශ්‍ර අනුව පරුමකවරු ප්‍රාදේශීය වශයෙන් බෞද්ධාගමේ උන්නතියට කැප වූ පිරිසක් බව හඳුනාගත හැකි ය. එකී මූලාශ්‍රයන්හි දැක්වෙන කෙටි පාඨයන් ආශ්‍රයෙන් ඔවුන්ගේ සමාජීය තත්ත්වය යම්තාක් දුරකට අධ්‍යයනය කළ හැකි වීම විශේෂත්වයකි.
02. අධ්‍යයන ගැටලුව
මෙම ඓතිහාසික විමර්ශනයේ දී ප්‍රධාන අධ්‍යයන ගැටලුව පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ අනුව,
“බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රවල එන පරුමකවරු දරන ලද නිල තනතුරු අනුව ඔවුන් තත්ත්කාලීන සමාජයේ ඉහළ ස්ථරය නියෝජනය කරන්නේ ඇයි?”
යන ප්‍රශ්නය ප්‍රධාන අධ්‍යයන ගැටලුව ලෙස ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රයවල එන පරුමකවරු යනු කවුද? ඔවුන් උසුලන ලද තනතුරු හා වරප්‍රසාද මොනවාද? පරුමකවරු අධ්‍යයනයට ලක්කළ යුතු පිරිසක් වන්නේ, කවර හේතු නිසාද? යන්න සෙසු අධ්‍යයන ප්‍රශ්න වශයෙන් හඳුනාගත හැකි ය. මෙකී ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි මෙම විමර්ශනයේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වේ.
03. අරමුණ
මෙකී විමර්ශනයේ දී පරුමක යන අභිධානය ලද්දන් කවුරුන්ද? යන්න පිළිබඳ ව යම් අදහසක් සමාජගත කිරීමට අපේක්ෂිත ය. එමෙන් ම අතීත ලක්දිව සීමාසහිත කාලපරිච්ඡේදයක ජීවත් වූ මෙම පිරිස ප්‍රාදේශීය වශයෙන් බෞද්ධාගමේ උන්නතියට දායක වූ ප්‍රමුඛතම කොට්ඨාසයක් වශයෙන් ඔවුන්ගේ තනතුරු විශ්ලේෂණය කරමින් සමාජ ස්ථරායනයේ ඉහළින් වැජඹුණු පිරිසක් බවට තහවුරු කිරීම මෙම ඓතිහාසික විමර්ශනයේ දී ප්‍රධානත ම අරමුණ වශයෙන් පෙන්වා දිය හැකිය. ලෙන් ලිපි යනු තොරතුරු අතින් පොහොසත් මූලාශ්‍රයන් නොවුණ ද එකී මූලාශ්‍ර පුළුල් ව විශ්ලේෂණය කරමින් පරුමකවරු දරන ලද නිල තනතුරු අනුව ඔවුනගේ සමාජීය පසුබිම පිළිබඳ ව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි ය. මෙම තොරතුරු අනුව පරුමකවරුන්ගේ සමාජගත කාර්යභාරය සේ ම මධ්‍ය සහ පා්‍රදේශීය පාලනයන්හි දී ඔවුන්ගේ දායකත්වය පිළිබඳ ව විමසීමෙන් පරුමක අභිධානය ලද්දන් සමාජ ස්ථරයේ ඉහළින් ස්ථානගත කළ හැකි පිරිසක් බව අනාවරණය කිරීම මෙම විමර්ශනයෙහි දී අරමුණ වන බව පෙන්වාදිය හැකි ය.
04. ක්‍රමවේදය
මෙම ඓතිහාසික විමර්ශනයේ දී ප්‍රධාන වශයෙන් “මූලාශ්‍ර පරිශීලන” ක්‍රමවේදය භාවිතා කරනු ලැබේ. එනම්, සරල ව පුස්තකාල සමීක්ෂණය වශයෙන් දැක්විය හැකි අතර එහි දී ප්‍රාථමික, ද්විතීයික සහ අභිලේඛන මූලාශ්‍ර විමර්ශනය කෙරෙහි ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ඒ අනුව අභිලේඛන මූලාශ්‍ර මත ප්‍රධාන වශයෙන් මෙම විමර්ශනය රඳා පවතින බව පෙන්වාදිය හැකි ය. අභිලේඛන මූලාශ්‍රයන් ගෙනහැර දක්වන තොරතුරු ප්‍රාමාණික ව සීමිත වුව ද, මෙකී විමර්ශනයේ දී පරුමක අභිධානය ලද්දන් සහ ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ දේශපාලනික පසුබිම ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා එය මහත් දායකත්වයක් සපයයි. මෙහි දී ප්‍රධාන වශයෙන් දැනට ප්‍රකාශිත අභිලේඛන මූලාශ්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු වන අතර එකී තොරතුරු මෙම අධ්‍යයන ගැටලුව නිරාකරණය කිරීම උදෙසා ප්‍රමාණවත් වන බව මෙහි ලා සඳහන් කළ හැකිය.
05. බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර
බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර අධ්‍යයනයේ දී “පරුමක” යන අභිධානය සුලබ වුව ද වංසකතා ආදී ප්‍රාථමික මූලාශ්‍රයන්හි එය දුර්ලභ වන බව දැක්විය හැකි ය. මේ අනුව පරුමක යන අභිධානය ලද්දන් පිළිබඳ ව විමර්ශනය කිරීමෙහි ලා සුදුසු ම මූලාශ්‍රය අභිලේඛන බව වෙසෙසින් දැක්විය හැකිය. එසේ වුව ද අභිලේඛන මූලාශ්‍ර අතරින් ද පරුමකවරු හමුවන්නේ, එක්තරා කාලපරිච්ඡේදයක දී පමණි. එනම්, දේශීය ලේඛන කලාව ඇරඹි ක්‍රි.පූ. තෙවන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස අතර කාලපරිච්ඡේදය යි. ඒ අනුව කාල නිර්ණය ක්‍රි.ව. පළමුවන සියවසට පැමිණීමේ දී පරුමක අභිධානය අභිලේඛන මූලාශ්‍ර මතින් ගිළිහී යෑමක් නැතහොත් විරල වීමක් හඳුනාගත හැකි ය.
බ්‍රාහ්මී අක්ෂර යනු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මුල්කාලීන ව භාවිත වූ අක්ෂර ලෙස හඳුනාගත හැකි ය. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද අශෝක ස්ථම්භයන්හි ඉන්දියාවේ ආදිත ම බ්‍රාහ්මී අක්ෂර හඳුනාගත හැකි අතර එම අක්ෂර ලාංකේය බ්‍රාහ්මී අභිලේඛන බිහි වීම කෙරෙහි බල පෑ බවට විශ්වාස කළ හැකි ය. ලංකාවේ මුල් ම අක්ෂර දක්නට ලැබෙන්නේ, බොහෝ විට ගල් ලෙන්වල කටාරමට යටින් කෙටි වැකි ලෙසිනි. මෙ වැනි ලිපි දෙදහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් ම පාහේ සොයාගෙන තිබේ. ගල් ලෙන් පූජා කළ අය, ඔහුගේ පරම්පරාව හෝ තනතුර ද සමරහරවිට ගල්ලෙනෙහි නම ද එය පැමිණි නොපැමිණ සිව්දෙසින් වඩින සංඝයාට පූජා කරන ලද බව ද මෙහි සඳහන් වේ. මෙම ලෙන් ලිපිවල අක්ෂර අශෝක බ්‍රාහ්මී අක්ෂර මාලාවට නෑකම් කීවද භාෂාව සිංහල ප්‍රාකෘත වේ. පාලි සහ සංස්කෘත භාෂාවේ වචන තත්භව සහ තත්සම වීමෙන් බොහෝ විට සිංහල ප්‍රකෘත වචන නිර්මාණය වී තිබේ. එහෙත් නිෂ්පන්න වචන ද සීමිත සංඛ්‍යාවක් දක්නට ඇත (වික්‍රමසිංහ, 2007:05).
මේ අනුව ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාලපරිච්ඡේදයේ දී ලියැවී ඇති අභිලේඛන මුල්කාලීන බ්‍රාහ්මී ලිපි වශයෙන් හඳුනා ගත හැකි ය. මෙම අභිලේඛන මූලාශ්‍රයන් කෙටි වැකි එකකින් හෝ සීමිත සංඛ්‍යාවකින් යුක්ත විය. ඒ නිසා සමකාලීන සමාජ, ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳ ව පැහැදිලි වියමනක් කීරීම අසීරු වේ. නමුත් සමකාලීන තොරතුරු සම්බන්ධයෙන් විශ්වසනීය ම මූලාශ්‍රය අභිලේඛන වේ. එබැවින් පරුමක අභිධානය ලද පිරිස පිළිබඳ ව ඍජු, විශ්වසනීය තොරතුරු හමුවන ප්‍රමුඛතම මූලාශ්‍රය බ්‍රාහ්මී අභිලේඛන බව පැහැදිලි ය.
06. පරුමක අභිධානය සහ ඒ පිළිබඳ ව පවතින විද්වත් මත
ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතරතුර කාලපරිච්ඡේදයට අයත් බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රයන්හි ඉදිරිපත් කෙරෙන “පරුමක” යන අභිධානය ලද පිරිස කෙරෙහි මෙයට දශක කිහිපයකට පෙර සිට ම විද්වතුන්ගේ අවධානය යොමු වූ බව පූර්ව පර්යේෂණයන්ට අනුව පැහැදිලි වේ. නමුත් මෙම සුවිශේෂී පිරිස කවුරුන් ද? යන්න පිළිබඳ පැහැදිලි වූත් ඍජු වූත් පිළිතුරක් දීම අපහසු වග විද්වතුන්ගේ අදහස් අනුව ගම්‍ය වේ. අභිලේඛන මූලාශ්‍ර මත පරුමකයා යනු කවරෙක් ද? යන්න පිළිබඳ ව විමසා බැලීමට ප්‍රථම පූර්ව පර්යේෂණයන්ට අනුව විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි “පරුමක” යන අභිධානය පාලියෙන් “ප්‍රමුඛ” හෝ “පාමොක්ඛ” යනුවෙන් ද සකු බසින් “පරුමක” ලෙස ද ව්‍යුත්පන්න වූවකි. එමෙන් ම බුද්ධකාලීන වංශවත් රාජ්‍යයන් කුලීනයන් වෙත පිරිණැමූ අභිධානයකි යන්න ද එතුමාගේ අදහසකි (Hettiarachchi, 1972: 69). ඔවුහු පරිපාලන නිලධාරී පන්තියක් යැයි පරණවිතාණ සූරීන් මත පළ කළ ද (Hettiarachchi, 1972: 75), දේශපාලන කාර්යයෙහි ලා නියුක්ත වූ ආකාරය මෙන් ම රජු සමග කිනම් ස්වභාවයක සබඳතාවයක් පවත්වාගෙන ගියේදැයි පැවසීම අසීරු ය. පරුමකවරු රජ පැළැන්තියේ ඇත්තන් හා ආවාහ විවාහ සිදු කළ බවට අභිලේඛන සපයන තොරතුරු අනුව (Hettiarachchi, 1972: 73) සමාජ ස්ථරායනයෙහි ඉහළින් සිටි බවත්, පෞද්ගලික ආරාම පූජාවන්හි නිරත වීමෙන් ආර්ථික වශයෙන් ස්ථාවර පිරිසක් බවත් හඳුනා ගැනුණ ද ඉන් ඔබ්බට ගිය සවිස්තර වාර්තාකරණයක් නොමැති තරම් ය. සමකාලීන සමාජ ස්ථරායනයේ “අය” යන අභිධානය ලද්දන් පරුමකවරුන්ට වඩා ඉහළින් වැජඹුණු අතර ඔවුහු රාජ්‍ය පාලන කාර්යයෙහි ලා ඍජු ව සම්බන්ධ වූවන් බව හඳුනා ගත හැකි ය. නමුත් පරුමකවරු රාජ්‍ය පාලනයට ඍජු ව සම්බන්ධ නොවුණ ද පරිපාලන නිලධාරීන් සේ කටයුතු කළ බව සඳහන් වේ. ලිඛිත මූලාශ්‍ර ඔස්සේ ලැබෙන සාක්ෂි ඒ බව සනාථ කිරීමට ඉවහල් වේ. කෙසේ වුව ද ක්‍රි.ව. පළමුවන සියවසින් පසු පරුමකවරු පළිබඳ ව සඳහන් අභිලේඛනමය සාක්‍ෂි හමු නොවේ. එනම්, ලම්භකර්ණ රාජ්‍ය වංශයෙහි ආරම්භයත් සමග පරුමක යන අභිධානය මෙ රට සමාජයෙන් වියැකී යන්නට ඇති බවට සැක කළ හැකි ය (Hettiarachchi, 1972: 67-75).
මහාචාර්ය ගුණවර්ධන (1982) ප්‍රකාශ කරනු ලබන්නේ, පරුමක අභිධානය ලද්දන් යනු ක්‍රිස්තු පූර්වයෙන් අවසන් සියවස් ද්වයෙහි විසූ විකේන්ද්‍රණය වූ පරිපාලන ව්‍යුහය තුළ දේශපාලනික බලයක් දරන ලද කොට්ඨාසයක් බවයි. නමුත් මහාචාර්ය සෙනෙවිරත්න (1989) විසින් පරුමක අභිධානය ලද්දන් සමකාලීන දකුණු ඉන්දියාවෙහි ද්‍රවිඩ ගණ නායකයන් හා සැසඳීමට උත්සාහ දරනු ලබයි (Somadeva, 2006: 290). මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය Urban
Origins in Southern Sri Lanka කෘතියෙහි පරුමක යන අභිධානය බිහි වූ අන්දම පැහැදිලි කරන්නේ මෙසේ ය.
මෙකී සටහන්වලට අනුව පවුලක ප්‍රධානියා වන “ගපති” පිරිසකගේ සම්මුතියෙන් ගමක ප්‍රධානියා වශයෙන් ගමික පත් වේ. ඉන් පසු “ගමික” පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ගේ ප්‍රධානියා ලෙස “පරුමක” ඉස්මතු වේ. මේ අනුව පරුමක යන අභිධානය ලද්දා ග්‍රාමයන් කිහිපයක නායකත්වය දරන බව හඳුනාගත හැකි ය. මේ අනුව සමකාලීන ව විකේන්ද්‍රණය වූ දේශපාලන බලාධිකරයක් ක්‍රියාත්මක වන්නට ඇති බවට විශ්වාස කළ හැකි වේ. එනම්, ප්‍රාදේශීය වශයෙන් ඉහළ ස්ථරයේ බලයක් හොබවන ලද පිරිසක් ලෙස පරුමකවරු හඳුනාගත හැකි වීම ය.
විශේෂයෙන් ම පරුමක යන අභිධානය ලද කාන්තාවන් පිළිබඳව ද අභිලේඛන මූලාශ්‍ර මගින් හඳුනාගත හැකි ය. මෙම විරුදය කාන්තාවන්ට භාවිතා කිරීමේ දී “පරුමකලු”, “පරුමකලි” ආදී වශයෙන් යෙදී තිබීම විශේෂත්වයකි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි රිටිගල, මරක්කලඋල්පොතින් හමු වූ ලෙන් ලිපියක් එයට නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය.
“Parumaka
- Retaha jhaya Parumaka - Naguli - jhita, parumakalu - Di[pani]ya lene sagasa
dine”
(IC,
vol I, 1970: 21p, 260)
පරුමක “නගුලි”ගේ දියණිය වූ ද, පරුමක “රැට”ගේ භාර්යාව වූ ද, පරුමකලු “දීපනී”ගේ ලෙන සංඝයා වහන්සේලාට පූජා කරන ලදී යනුවෙන් මෙහි සඳහන් වේ. මෙහි සඳහන් පරුමකලු “දීපනී”ගේ පියා මෙන් ම ස්වාමියා ද පරුමක අභිධානය ලද්දන් බව දැක්වෙන අතර මෙම අභිධානය පාරම්පරික ව හිමිවන්නක් නොවන බව වෙසෙසින් දැක්විය යුතු ය. අභිලේඛන මූලාශ්‍ර මැනවින් පරික්ෂා කිරීමේ දී ඇතැම්විට පරුමක අභිධානය ලද්දන් අතර ම ආවාහ විවාහ සිදුවීම ද, ඇතැම් විට පරුමක අභිධානය ලද්දන් වෙනත් පුද්ගලයන් හා ආවාහ විවාහ සිදුවීම ද හඳුනාගත හැකි ය. ඇතැම් විට පියා පරුමක අභිධානය ලද්දෙකු වුවත් පුතා එසේ නොවිය හැකි ය.
මෙම කරුණු කරණා අනුව පරුමක (The
Chief) අභිධානය ලද පිරිස පිළිබඳ ව ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාලවකවාණුවට අයත් අභිලේඛන මූලාශ්‍ර මගින් ඉස්මතු වුවත් ඔවුන් පිළිබඳ ව සවිස්තර වාර්තාකරණයක් එහි අන්තර්ගත නොවේ. විශේෂයෙන් ම මොවුන් පිළිබඳ හමු වන අභිලේඛන මූලාශ්‍රය ලෙන් ලිපි වන අතර මහා සංඝරත්නය උදෙසා පහසුකම් සැලසීමේ අවස්ථා ඒ අතර බහුල ව හමු වේ. ප්‍රාදේශීය වශයෙන් බලාධිකරියක් ලත් කොට්ඨාසයක් ලෙස මෙම පිරිස හඳුනාගත හැකි අතර මහා සංඝරත්නය උදෙසා කළ ලෙන් පූජා කිරීම් අනුව සමාජයෙහි ධනවත් ව ඉහළ ස්ථරයක වැජඹුණු පිරිසක් බව පැහැදිලි ය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව පොදුවේ පහළ ස්ථරයට නායකත්වය සපයන ලද පිරිසක් බව අභිලේඛන මූලාශ්‍ර මගින් තහවුරු වේ. මෙම පරුමක අභිධානය ලද්දන් විවිධ තනතුරු සහ රැකියාවන්හි නිරත වී ඇති අතර ඒ මගින් ඔවුන්ගේ සමාජ තත්ත්වය සකස් වූයේ කෙසේ ද? යන්න පිළිබඳ ව තවදුරටත් විමසා බැලීම වැදගත් වේ.
07. පරුමකවරුන්ගේ ව්‍යාප්තිය
පරුමකවරුන්ගේ ව්‍යාප්තිය කාලයට සාපේක්ෂ ව ක්‍රි.පූ. තෙවන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස දක්වා සීමා වුව ද අවකාශීය වශයෙන් එවැනි සීමාසහිත බවක් හඳුනාගත නොහැකි ය. මෙම කාලපරිච්ඡේදය තුළ මෙම පරුමක අභිධානය ලද්දන් පිහිට වූ ලෙන් ලිපි අනුව ඔවුන්ගේ බලප්‍රදේශයන් පිළිබඳ ව දළ අදහසක් ලබා ගත හැකි වේ. විශේෂයෙන් ම පරුමක අභිධානය ලද්දන්ගේ සමාජ ස්ථරායනය පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී ඔවුන් රාජ්‍යය තුළ ව්‍යප්ත ව සිටි අන්දම නිරීක්ෂණය කිරීම වැදගත් ය.
පහත දැක්වෙන ප්‍රස්තාරයට සහ සිතියමට අනුව පරුමක යන අභිධානය අන්තර්ගත වූ ශිලාලේඛන දිස්ත්‍රික්ක අනුව ව්‍යාප්ත වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ අනුව සමස්ත දිවයින මුළුල්ලේ ම පාහේ පරුමක අභිධානය දැරූවන් ව්‍යාප්ත ව සිටි බවත් අදාළ ප්‍රදේශයන්හි ඔවුන් සිය ආගමික මෙහෙවර සිදු කළ බවත් හඳුනාගත හැකිය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පරුමකවරු පිළිබඳ සඳහන් ශිලා ලිපි බහුතරයක් හමුවීම අනුව මෙම තත්ත්වය දිවයිනෙහි ජනාවාස ව්‍යාප්තියට ද සාපේක්ෂතාවක් පෙන්නුම් කරයි. අනුරාධපුරය ආසන්න ප්‍රදේශවල ප්‍රාදේශීය ව පරුමකවරු බහුල ව වෙසෙන්නට ඇති බවට විශ්වාස කළ හැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද මෙවැනි ශිලා ලේඛන විශාල ප්‍රමාණයක් හමුවීම අනුව සමකාලීන වන්නි ප්‍රදේශයෙහි පරුමකවරු බහුල ව සිය කර්තව්‍යයන් ගෙන ගිය බව පැහැදිලි ය. අනුරාධපුරයට සමගාමී ව රෝහණයෙහි ප්‍රාදේශීය රාජධානියක් පැවතීම හේතුවෙන් පුරාතන රෝහණය ද දිවයිනෙහි සෙසු ප්‍රදේශයන්ට සාපේක්ෂ ව සැලකිය යුතු තරම් ජනාවාසකරණයක් පැවති බව තහවුරු කරයි. මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සෙසු දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂ ව පරුමකවරු බහුතරයක් විසූ බව හඳුනාගත හැකිය.
මේ අනුව පරුමකවරුන්ගේ ව්‍යාප්තිය පිළිබඳ ව විමසා බැලීමේ දී තත්කාලීන පාලන මධ්‍යස්ථාන අනුව ඔවුන්ගේ ව්‍යාප්තියෙහි යම්කිසි සබඳතාවයක් හඳුනාගත හැකි ය. අනුරාධපුරය, වන්නිය සහ පුරාණ රෝහණය හැරුණු විට සෙසු ප්‍රදේශයන්හි ද පරුමක අභිධානය ලද පිරිස් ජීවත් වූ බවට විශ්වාස කළ හැකි වුව ද එය සමකාලීන ජනාවාසකරණය මත පදනම් වන්නට ඇති බවට සැලකීම සාවද්‍ය නොවේ. මෙම දත්තයන් අනුව පරුමක යන අභිධානය ලද පිරිසෙහි ප්‍රමාණාත්මක බව අනුව ඔවුන් ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ ව ඉහළ ස්ථරයෙහි කටයුතු කරන්නට ඇති බව පසක් වේ.
08. පරුමක අභිධානය ලද්දන් උසුලන ලද තනතුරු සහ නියුක්ත වූ රැකියාවන්
මෙතෙක් සාකච්ඡා කරන ලද කරුණු අනුව පරුමකවරු යනු සමාජයෙහි කවර තරාතිරමක පිරිසක්දැයි යම් අදහසක් ගත හැකි ය. මොවුන් පරුමක අභිධානය ලැබීම අනුව සමාජ ස්ථරායනයෙහි ප්‍රාදේශීය ඉහළ මට්ටමක් නියෝජනය කළ ද පවතින මූලාශ්‍ර අනුව ඔවුන් එම ස්ථරය අභිභවා යෑමක් ද හඳුනාගත හැකි ය. පෙර සඳහන් කළ පරිදි පරුමකවරුන්ගේ ආගමික ප්‍රදානයන් ඉස්මතු කෙරෙන ලෙන් ලිපි, තොරතුරු අතින් පොහොසත් මූලාශ්‍රයක් නොවුණ ද ඔවුන් දරන ලද නිල තනතුරු සහ නියුක්ත වූ රැකිරක්ෂා අනුව පරුමකවරුන්ගේ සමාජීය පසුබිම පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වේ.
මෙහි දී පරුමක යන අභිධානය ලද පිරිස අතුරින් සමහරෙක් ඍජු ව ම රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ බව තහවුරු කළ හැකි අභිලේඛන හමුවේ. ඒ අතර අමාත්‍යධුරය මත ඍජු ව රජු හා සබඳතා පැවැත්වූ පරුමකවරු පිළිබඳ ව හඳුනාගත හැකිය. අනුරාධපුර හුරුළු පළාතේ බ්‍රාහ්මණයාගමින් හමුවන,
“The
cave of the chief “Sagaya”, the minister”
(IC,
vol I, 1970; 13P, 161)
ලෙන් ලිපියේ පරුමක අභිධානය ලද “සගය” නම් අමාත්‍යවරයා පිළිබඳ ව සඳහන් වේ. කුරුණෑගල වන්නි හත්පත්තුවේ කදුරුවැව ඇති ලෙන් ලිපියක නැවතත් අමාත්‍ය ධුරයක් දරන ලද පරුමකවරයෙකු පිළිබඳ සඳහන් වේ. එනම්,
“Hail!
The cave of “Gopa”, the grandson of the chief “Vahidi”, the minister, and
eldest son of “Hãmika”, the chamberlain and dealer in coined money, is
dedicated to the sangha”
(IC,
vol I, 1970: 97P, 1205)
මෙහි පරිත්‍යාගය කරනු ලබන්නේ “ගෝප” නම් පුද්ගලයෙකු වන අතර අමාත්‍ය පරුමක “වහිදි” ගෝපගේ මුත්තණුවන් වේ. මෙවැනි ප්‍රදානයන් සටහන් කිරීමේ දී තම පරපුරේ ඉහළ සමාජ ස්ථරය නියෝජනය කළ පුද්ගලයන් පිළිබඳ ව විශේෂයෙන් දක්වමින් ඔවුන්ගේ ඥාතීත්වය පෙන්වීම වැදගත් කොට සලකන ලද බව පැහැදිලි ය.
රාජ්‍ය පාලනයේ දී වැදගත් තනතුරක් වන භාණ්ඩාගාරික තනතුර හොබවන ලද පරුමකවරු කිහිපදෙනෙකු පිළිබඳ ව හඳුනාගත හැකි ය.
“The
cave of the chief “Sena” the treasurer, son of the chief “Sena” [is given] to
the sangha”
(IC,
vol I, 1970: 5P, 59)
අනුරාධපුර මිහින්තලේ රජගිරි කන්දෙන් හමුවන මෙම ලිපියෙන් භාණ්ඩාගාරික ධුරය දරන ලද පරුමක සේන නමැති නිලධාරියෙකු පිළිබඳ ව සඳහන් වේ. මිහින්තලයෙන් හමු වූ තවත් ලෙන් ලිපියක භාණ්ඩාගාරික ධුරය දැරූ පරුමක තිස්ස (IC,
vol I, 1970: 1P, 3) ද, පොළොන්නරුව තමන්කඩුව කන්දකාඩු ප්‍රදේශයෙන් හමු වූ ලෙන් ලිපියක භාණ්ඩාගාරික පරුමක මිත්ත පිළිබඳ ව ද (IC,
vol I, 1970: P, 296) සඳහන් වේ. එසේ ම රජුගේ ආදායම් නිලධාරියා වශයෙන් කටයුතු කළ පරුමක අභිධාන ලද්දන් පළිබඳ ව ද සාක්ෂි හමුවේ. එයට නිදසුනක් ලෙස හම්බන්තොට තිස්සමහාරාමයෙන් හමු වූ,
“The
pound of the chief “Phussadeva”, the revenue officer of the great king”
(IC,
vol I, 1970: 53P, 703)
ලිපිය දැක්විය හැකි ය. මෙහි දී මහ රජුගේ ආදායම් එකතු කරන්නා නැතහොත් බදු රැස්කරන නිලධාරියා වූ අයක තනතුර දරන ලද්දේ පරුමක අභිධානය ලත් ඵුස්සදේව විසින් බව පෙන්වා දිය හැකි ය.
පරුමකවරු රජුට සමීප නිල තනතුරක් වන සේනාධිපති ධුරයන් දැරූ බවට ද ලෙන් ලිපි සාක්ෂි දරයි. මොනරාගල වැල්එලලුගොඩකන්දෙන් හමු වූ ලෙන් ලිපියක මෙසේ දැක්වේ.
“The
great cave of the Nun “Nãgã” daughter of the chief “Phussadeva” the commander -
in - chief, [is given] to the sangha”
(IC,
vol I, 1970: 55P, 725)
මෙහි දී සේනාධිපති ඵුස්සදේව ද පරුමක ධුරය දැරූවෙකු බව පසක් වේ. මොනරාගල වැල්එලලූගොඩකන්දෙන් හමු වූ තවත් ලෙන් ලිපියක සේනාපති පරුමක අගිදත්ත (IC,
vol I, 1970: 55P, 724) උක්ත නාගා භික්ෂුණියගේ ගිහි කල ස්වාමිපුරුෂා වූ බව සඳහන් කරයි. හම්බන්තොට ගෝනගලින් හමු වූ ලිපියක ද සේනාපති පරුමක අභය (IC,
vol I, 1970: 50P, 665) නමැත්තෙකු පිළිබඳ සඳහන් වේ.
මෙම අමාත්‍ය, භාණ්ඩාගාරික සහ සේනාපති තනතුරු ඍජු ව ම මධ්‍ය පාලනයට සම්බන්ධ නිල තනතුරු බව අවිවාදයෙන් පිළිගත හැකි අතර මොවුන් පරුමක අභිධානය ලද ස්ථරයේ ද ඉහළින් ම වැජඹුණු බව ප්‍රත්‍යක්ෂ වේ. රාජ්‍ය පාලනයේ දී වැදගත් තවත් තනතුරු කිහිපයක් පිළිබඳ ව අභිලේඛන මගින් තොරතුරු අනාවරණය කරගත හැකි ය. එනම්, අදෙක නැතහොත් කටයුතු මෙහෙයවන්නා හෝ අධිකාරි (රණවැල්ල, 2004: 9), බතකරක නැතහොත් බත් පිසින්නා, අරක්කැමියා (රණවැල්ල, 2004: 218) ලෙස හඳුන්වන රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධානියා, නවිකහ නැතහොත් නාවික නිලධාරී, රජුගේ ගබඩා ගෙයි ප්‍රධානියා, වාර්තා භාරකරු ආදිය යි. මෙම තනතුරු දරන ලද පරුමකයන් ද සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කළ බව හඳුනාගත හැකිය. ඔවුන් පිළිබඳ ව මෙසේ සමාලෝචනය කළ හැකි ය.
(1 වගුව: රජවාසල හා සම්බන්ධ නිලතනතුරු දැරූ පරුමකවරු)
මෙයට අමතර ව නගරගුත්තික නැතහොත් නගරාධිපති ධුරය දරන ලද පරුමක අභිධානය ලද්දෙකු පිළිබඳ ව සඳහන් ලෙන් ලිපියක් අනුරාධපුර කලාගම් පළාතේ මහඅලගමුවෙන් හමුවේ. එනම්,
“The
cave of the chief “Datta” the burgomaster, [is given] to the sangha”
(IC,
vol I, 1970: 18 P, 230)
යන්නයි. නගරයක ප්‍රධානියා නැතහොත් නගරාධිපති යනු ප්‍රාදේශීය පරිපාලනයෙහි ප්‍රධානියෙකු වන අතර සමාජ ස්ථරායනය අතින් ඉහල ස්ථරායනය නියෝජනය කරනු ලබන පුද්ගලයෙකි. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙන පරිදි ගමිකයන් සමූහයකට ප්‍රධානියෙකු වූ පරුමක අභිධානය ලද්දන් ඉන් ඔබ්බට ගිය නගරාධිපති ධුරය දක්වා සමාජයෙහි ඉහළින් වැජඹීම අනුව පරුමක අභිධානය ඉහළ නිලතනතුරු සඳහා මංපෙත් විවර කරන අභිධානයක් බවට ද විශ්වාස කළ හැකි ය.
විජය කුමරු ඇතුළු සත්සියක් පිරිස තම්බපණ්ණියට අහඹු ලෙස සේන්දු වුව ද එතැන් පටන් සිදු වූ ආර්ය සංක්‍රමණ දෙස විමසා බැලීමේ දී විධිමත් නාවික සබඳතා ජාත්‍යන්තර වශයෙන් පැවති බව අවිවාදයෙන් පිළිගත හැකි ය. මෙවැනි නාවික කටයුතු භාර විය යුත්තේ, වගකිව යුතු සමාජයේ ඉහළ පිරිසකට ය. ඒ අනුව නාවික කටයුතු හා සම්බන්ධ පරුමක අභිධාන ලද්දන් පිළිබඳ ව ද අභිලේඛන මූලාශ්‍ර මගින් තොරතුරු අනාවරණය වේ. කුරුණෑගල මාළිගාතැන්නෙන් හමුවන ලෙන් ලිපියක නැව් යාත්‍රා කරවන පරුමක මහා-අසෝක නම් පුද්ගලයෙකුගේ ලෙන් පරිත්‍යාගයක් පිළිබඳ ව සඳහන් වේ (IC,
vol I, 1970: 76 P, 977a). මහනුවර උඩපළාතේ බගවාලෙන නම් ස්ථානයෙන් හමුවන ලෙන් ලිපියක භාරුකච්චයට යාත්‍රා කළ නාවික පරුමක “මාල”ගේ ලෙන් පරිත්‍යාගයක් පිළිබඳ ව දැක්වේ (IC,
vol I, 1970: 95P, 1183). මෙහි දී “මාල” නාවිකයෙකු වශයෙන් භාරුකච්චය සහ ලක්දිව අතර නාවික කටයුතු සිදු කළ බව පැහැදිලි ය.
අම්පාර පානම්පත්තුවේ බඬරගස්තලාවෙන් හමුවන ලෙන් ලිපියක වෙළෙන්දෙකු පිළිබඳ ව සඳහන් වේ.
“The
cave of the chief “Tissa”, the merchant, [is given] to the sangha”
(IC,
vol I, 1970: 40 P, 515)
මෙහි දී තිස්ස නම් පරුමක අභිධානය ලද්දෙකු විසින් වෙළඳ කටයුතු කළ බව දැක්වේ. පෞද්ගලික ආරාම පූජාවක් අනුව ඔහු වෙළඳාමෙන් සාර්ථකත්වයට පත් වූ සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කළ පරුමකයකු විිය හැකි ය.
එසේ ම ගම්, නගර, වැව් සහ තොටුපළ හිමිකර්වන් ලෙස ද පරුමක අභිධාන ලද්දන් කටයුතු කළ බව තහවුරු කෙරෙන ලෙන් ලිපි හමුවේ. එම තොරතුරු මෙසේ සමාලෝචනය කළ හැකිය.
(2 වගුව: පරුමකවරුන්ගේ පෞද්ගලික හිමිකාරත්වයන්)
නගර හා ග්‍රාමයන් ගත්විට එය පෞද්ගලික ව යමෙකුට හිමිවන විට එහි ජීවත් වන සෑම තරාතිරමක පුද්ගලයෙකුට ම වඩා එහි හිමිකරු උච්චස්ථානයට පත්වන්නේ ය. තොටුපළ සහ වැව් පරුමක අභිධාන ලද්දන් හට උරුම වීම අනුව ඔවුන් එය භාවිතා කරන පුද්ගලයන් මත ජීවනෝපාය සකස් කරගත්තා විය යුතු අතර, එනිසා ම සමාජයෙහි ධනවත් පිරිසක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. නක්ෂත්‍රය යනු අතීත සමාජයෙහි ගැඹුරු විෂයක් වූ අතර එය ප්‍රගුණ කළ පිරිස අවිවාදයෙන් ම නැණවතුන් විය. එවැනි පරුමක අභිධානය ලත් දෛවඥයෙකු පිළිබඳ ව ලෙන් ලිපියක් කුරුණෑගල පෙරියකඩු විහාරයෙන් හමුවේ. එහි පරුමක තිස්ස නම් නක්ෂත්‍රාචාරයවරයෙකු පිළිබඳ ව සඳහන් වේ (IC,
vol I, 1970: 73 P, 941). ඒ අනුව පරුමක අභිධානය ලද්දන් අතර ද ස්ථර කිහිපයක් පවතින්නට ඇති බව මෙම තනතුරු සහ රැකියා පිලිබඳ ව අවධානය යොමු කිරීමේ දී මනාව පැහැදිලි වන කරුණකි.
09. පරුමකවරුන්ගේ සමාජ ස්ථරායනය
පරුමකවරුන්ගේ සමාජ ස්ථරායනය පිළිබඳ ව විමසා බැලීමේ දී ඓතිහාසික යුගයෙහි දේශපාලනික ස්ථරායනය කෙරෙහි මූලික අවධානයක් යොමු කිරීම වැදගත් වේ. රාජ්‍යයේ මධ්‍ය පාලනය විමසා බලන කල්හි රජු හෝ උප රජුට පසු රජයේ උසස් තනතුරු හොබවන ප්‍රභූ කණ්ඩායමක් හඳුනාගත හැකි ය. අනතුරුව සමාජයේ ඉහළ ස්ථරයක් නියෝජනය කරන රජ වාසල හා සම්බන්ධ තනතුරු දැරූ ප්‍රභූ පිරිසක් වූ බව වාර්තා වේ. ඒ අනුව ඓතිහාසික යුගයෙහි පරිපාලනයට සම්බන්ධ වූවන් මෙසේ ස්ථරගත කළ හැකිය.
මෙහි දී පොදුවේ ගත් කල පරුමක අභිධාන ලද්දන් නියෝජනය කරනු ලබන්නේ, පහළ ම ස්ථරය යි. එනම්, ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ වූවන් ලෙසිනි. නමුත් මින් ඉහත විමර්ශනයට ලක් වූ පරුමක අභිධාන ලද්දන් දරන ලද සුවිශේෂී නිල තනතුරු අනුව අතරමැද ස්ථර සතරම නියෝජනය වන බව පැහැදිලි ය.
මේ අනුව පරුමකවරු අමාත්‍ය, බඩගරික, සේනාපති ආදී රජයෙහි ඉහළ තනතුරු සඳහා යොමු වූයේ, ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් වශයෙන් සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කළ නිසා බව කිව හැකි ය. ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාල පරිච්ඡේදයේ දී පරුමකවරු දේශපාලන ස්ථරායනයෙහි පහළ ම ස්ථරය නියෝජනය කළ ද ඒ අතරින් සමහරෙක් ඉහළ තනතුරු සඳහා පත්වීම විශේෂත්වයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ ස්ථරායනය තුළ ඔවුන් හිමිකරගත් ප්‍රබලතාවය හේතු වන්නට ඇත.
ප්‍රාදේශීය වශයෙන් පරුමකවරු සමාජ ස්ථරායනයෙහි ඉහළ කොටස නියෝජනය කළ බව මෙසේ දැක්විය හැකිය.
මේ අනුව පරුමක අභිධානය ලද්දන් සමාජයෙහි ප්‍රභූ පිරිස නියෝජනය කළ බව පසක් වේ. මොවුන් පිළිබඳ ව හමු වන ශිලාලේඛන පුළුල් ව විමර්ශනය කිරීමේ දී පරුමකවරු යනු ධනයෙන්, බලයෙන් හා කුලයෙන් ආඪ්‍ය වූ සමාජීය වශයෙන් ඉහළ ම ස්ථරය නියෝජනය කරන පිරිස බව තහවුරු වේ. ධනයෙන්, බලයෙන් හා කුලයෙන් ආඩ්‍ය වූ නිසා ම ප්‍රාදේශීය පරිපාලනය ඔවුන් වෙත කේන්ද්‍රගත වූවා සේ ම රාජ්‍ය පාලනයේ දී ද ඉහළ නිල තනතුරු සඳහා දොරටු විවර වීමට, ඔවුන් වැජඹුණු ඉහළ සමාජ තලය වාරුවක් වූ බව ප්‍රත්‍යක්ෂ වේ.
සමාලෝචනය
ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාලපරිච්ඡේදයේ සටහන් වූ ශිලා ලේඛන අනුව ඉස්මතු වන පරුමක අභිධානය වංශවත් කුලීනයන් හට හිමි වූ වරප්‍රසාදයක් යැයි අදහස් කළ හැකි ය. මූලාශ්‍රගත තොරතුරු අනුව මොවුන් ප්‍රාදේශීය පරිපාලන කාර්යයෙහි ඉහළ ම ස්ථරය වූ අතර සාමාන්‍ය ජනයා වෙතින් බොහෝ දුරස් බවක් පෙන්නුම් කරයි. සමකාලීන සමාජයෙහි ප්‍රභූවරු ලෙස ජීවත් වූ මොවුන් බෞද්ධ භික්ෂූන්ගේ පහසුව තකා කරන ලද පෞද්ගලික පූජාවන් නිසා ම සමාජයෙහි කැපී පෙනෙන පිරිසක් බවට පත් වී ඇත. පරුමකවරු පිළිබඳ ව අභිලේඛනවලින් පරිබාහිර ව වෙනත් මූලාශ්‍රයන්හි අන්තර්ගත නොවීම තුළ තත්කාලීන ව ඔවුන් ලාංකේය සමාජයෙහි කවර තරාතිරමක් නියෝජනය කළේ ද යන්න තොරතුරු අනාවරණය වන්නේ, ඔවුන්ගේ ආගමික මෙහෙවර නිසා ම වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව පරුමක අභිධානය හිමි වූ අතර එමගින් සමකාලීන සමාජයෙහි කාන්තාවන් ද ප්‍රභූවරියන් වශයෙන් ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ වූ බව තහවුරු වේ. ප්‍රාදේශීය වශයෙන් සමාජ ස්ථරායනයේ ඉහළින් ම වැජඹීම නිසා අමාත්‍ය, සේනාපති, භාණ්ඩාගාරික ආදී රජයෙහි ඉහළ තනතුරු සඳහා වරම් ලැබුණු බවට විශ්වාස කළ හැකි අතර එවැනි තනතුරු ලද පසු ව ද ඔවුන් පරුමකයින් ලෙස හඳුන්වා දීමට රුචිකත්වයක් දක්වන ලද බව ඔවුන් විසින් ම කරවන ලද ලෙන් ලිපිවලින් තහවුරු වේ. ඇතැම් විට මොවුන් මුල්කාලීන ව ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ ව සිට ක්‍රමික ව රජයෙහි ඉහළ තනතුරු ලැබූවන් විය හැකි ය. පරුමකවරුන්ගේ උසස් සමාජ තත්ත්වය නිසා ම රජුට සමීප සෙසු තනතුරු ද මොවුන්ට හිමිවන්නට ඇති බවට විශ්වාස කළ හැකි ය. මොවුන් පිළිබඳ සඳහන් ශිලාලේඛන විමර්ශනය කිරීමේ දී පරුමක යන අභිධානය පාරම්පරික ව හිමිනොවූ අතර ඔවුන් පාලක පන්තිය සමග ආවාහ විවාහ සිදුකිරීම අනුව සමාජ ස්ථරායනයෙහි ඉහළ නියෝජනයක් කළ බව පැහැදිලි ය. ඉහළ සමාජ පසුබිම නිසා ම ඔවුන් ඉහළ නිල තනතුරු හෙබවුව ද පොදුවේ පරුමකවරු යනු ප්‍රාදේශීය පරිපාලනයේ දී ප්‍රමුඛ වූ ධනයෙන්, බලයෙන් සහ කුලයෙන් ආඪ්‍ය වූ සමාජයීය වශයෙන් සෙස්සන් අභභවා ගිය පිරිසක් බව ගම්‍ය වේ.
ආශ්‍රිත ග්‍රන්ථ
Epigraphia
Zeylanica, Vol. I
(1912). Edited and translated by D. M. De Z. Wickramasinghe, London: Oxford
University Press.
Epigraphia
Zeylanica, Vol. II
(1928). Edited and translated by D. M. De Z. Wickramasinghe, London: Oxford
University Press.
Epigraphia
Zeylanica, Vol. III
(1933). Edited and translated by D. M. De Z. Wickramasinghe, London: Oxford
University Press.
Paranavitana, S. (1970). Inscriptions
of Ceylon, Vol. I, Colombo: Department of Archaeology.
Paranavitana, S. (1983). Inscriptions
of Ceylon, Vol. II, Part 1, Colombo: Department of Archaeology.
Hettiarachchy, T. (1972). History of kingship in Ceylon: Up
to the fourth century A.D., Colombo: Lake House Investments Limited book
publishers.
Paranavithana, Senarath (1936). “Two royal titles of the early Sinhalese and the origine of kingship in
ancient Ceylon”, Journal of the
Royal Asiatic Society (Great
Britain and Ireland).
Perera, L. S. (2001). The institutions
of ancient Ceylon from inscriptions, Vol. I, Kandy: The international
center for ethic studies.
Somadeva, R. (2006). Urban Origins in
Southern Sri Lanka, Uppsala: Uppsala University.
සේනානායක, පියතිස්ස (2002). “ශ්‍රී ලංකාවේ පැරණිම ලේඛන සහ ඒවායේ ආරම්භය”, ඉඳුවර, වරකාපොළ: ආරිය ප්‍රකාශකයෝ.
රණවැල්ල, එස්. (2004). සිංහල සෙල් ලිපි වදන් අකාරාදිය, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
වික්‍රමසිංහ, එස්. (2007). සිංහල ලේඛන කලාව, කොළඹ: ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.