Sunday, May 6, 2018

Large Scale Development Projects and Archaeological Heritage Management


මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ පුරාවිද්‍යා උරුමය කළමනාකරණය


සාරාංශය


ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පුරාවිද්‍යා උරුමය විනාශයට ලක් වූ අවස්ථා ගණනාවක් ම පසුගිය සමයන්හි දී හඳුනාගත හැකි විය. විශේෂයෙන් ම ජලාශ ඉදිකිරීම සඳහා විශාල භූමි ප්‍රමාණයක් යොදා ගැනීම මගින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති පරිශ්‍ර ගණනාවක් විනාශ වී ඇති අන්දම 2013 අග භාගයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැකිරිඕබඩ හා මුරුතවෙල ජලාශ ආශ්‍රිත ව සිදු කරන ලද පුරාවිද්‍යා ක්ෂේත්‍ර ගවේෂණයක දී හදුනාගත හැකි විය. මෙම ගවේෂණයේ දී මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පහත බසින අවස්ථාවල, ජලාශයට යට වූ යබොර කොටස් සහ යකඩ උදුන් පිහිටි බව පෙන්නුම් කරන ස්ථාන පවා අධ්‍යයනය කිරීමට හැකි විය. එමෙන්ම විසිරී ගිය වළං කටු පරිශ්‍ර ද අවධානයට ලක් විය.  රෝහණ රාජධානියේ ජනාවාස ව්‍යාප්තව පැවති රම්මලය කන්ද පාමුල පිහිටි මෙම ජලාශවලට යටවී ඇති යකඩ නිස්සාරණ භූමි අතීත රෝහණයේ ජීවත් වූ සාමාන්‍ය ජනතාව නියෝජනය කළ සුවිශේෂි ලෝහ කාර්මිකයන්ගේ ජනාවාස බව පැහැදිළි ව පෙනී යයි. සංවර්ධන ව්‍යාපෘති හමුවේ විනාශ වී යන මෙම පුරා පරිශ්‍ර සමඟ මෙම ප්‍රදේශයේ පැවති අතීත ජනාවාස, තාක්ෂණ ශිල්ප පිළිබද සාධක විධිමත් අධ්‍යනයකට ලක් නොවීමෙන් වියැකීයාමේ අවධානමක් මතු වී ඇත. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කළ යුතු අතර එහි දී පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා සැලකිල්ලට ගැනීම වැදගත් වේ. පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත පුරාවස්තු හෝ පුරා ස්මාරක පරිශ්‍ර පිළිබද වැඩි අවධානයක් යොමු කරන පුරාවිද්‍යාඥයන් ක්ෂුද්‍ර මට්ටමේ පුරා ක්ෂේත්‍ර කෙරෙහි යොමු කරන අවධානය සීමිත බව ඉහත අධ්‍යයනයේ දී හදුනාගත හැකි විය. 

1. හැඳින්වීම


ශ්‍රී ලංකාවේ නූතන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක අතුරින් හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත ව ක්‍රියාත්මක වූ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍ෂේත්‍ර ගණනාවක විහිදී පවත්නා අතර, මහාපරිමාණ වාරි සංවර්ධන යෝජනා ක්‍රම එහි දී සුවිශේෂී වේ. නිදහසින් පසු යුගයේ මහාපරිමාණ සංවර්ධන ක්‍රම මෙ රට සමාජ නවීකරණයට ප්‍රබල ව බලපා ඇති අතර එකී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමෙන් පසු ව විවිධ ගැටලු ද සමාජ දේහය පුරා ව්‍යාප්ත ව ඇති අන්දම නූතනයේ දැකිය හැකි ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්මලේ කඳු පන්තියෙන් ගලා එන ජල ධාරාවන්ගෙන් පෝෂණය වන කිරම ඔය නිම්නය දකුණු පළාතේ සුවිශේෂී ජල පෝෂක ප්‍රදේශයක් වන අතර, කිරම ඔය නිම්නයේ ස්වභාවික ජල ධාරාවන් ආශ්‍රිත ව පසුගිය රජයෙන් මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති ආකාරය මෙම ප්‍රදේශ අධ්‍යයනයෙන් හඳුනාගත හැකි විය. නිදහසින් පසු ක්‍රියාත්මක කරන ලද මුරුතවෙල ජලාශ ව්‍යාපෘතිය හා කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය මෙහි ලා ප්‍රමුඛ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙකකි. මනරම් ශේෂ කඳුවැටි ආශ්‍රිත ව ඉදි කර ඇති මෙම ජලාශ දෙක ම හම්බන්තොට පහත් ප්‍රදේශවලට ජලය සම්පාදනය කරනු ලබයි. මෙම ව්‍යාපෘති දෙක සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් භාවිත කර ඇති අතර ස්වභාවික කඳු නිම්න ඇතුළත් විශාල භූමි ප්‍රමාණයක් එහි දී ජලයෙන් යට වී ඇත. මෙම ව්‍යාපෘති සිදු කිරීමේ දී පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා (Archaeology Impact Assessment)  කෙරෙහි සැලකිළිමත් වූයේ ද යන්න සැක සහිත බව ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී ප්‍රශ්නගත විය. මෙම සංවර්ධන යෝජනා ක්‍රම සඳහා යොදාගත් භූමිභාගවල විසිරී ඇති පැරණි රෝහණයේ යකඩ කර්මාන්තයට අයත් වැදගත් පුරා පරිශ්‍ර හා ජනාවාස පැවති බවට සාක්‍ෂි පෙන්නුම් කරන පුරා ක්‍ෂේත්‍ර ගණනාවක් මෙම ව්‍යාපෘති මගින් විනාශයට පත් වෙමින් පවතින බව පැහැදිළි ව නිරීක්‍ෂණය කළ හැකි විය. රෝහණ රාජ්‍යයේ රම්මලය කඳුවැටිය ආශ්‍රිත අතීත යකඩ කර්මාන්තය හා ජනාවාස රටාව පිළිබඳ ව දැකිය හැකි වැදගත් පුරාවිද්‍යා සාක්‍ෂි විනාශ වීම නිසා ප්‍රදේශයේ ඓතිහාසිකත්වය පිළිබඳ අනාගත පර්යේෂණවලට දැඩි බලපෑමක් සිදු වී ඇත. දිවයිනේ නිර්ප්‍රභූ ජන ඉතිහාසය ගොඩනැංවීමට අදාළ වැදගත් පුරාවිද්‍යා සාක්‍ෂි මෙ ලෙස විනාශ වෙමින් පැවතීම අභාග්‍යසම්පන්න අතර මෙ වැනි සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ප්‍රදේශයේ පවත්නා පුරාවිද්‍යාත්මක අවශේෂ පිළිබඳ සැලකිළිමත් වීමේ අවශ්‍යතාවය අප පර්යේෂණයේ ප්‍රතිඵල මගින් ඉස්මතු විය.

2. අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ව්‍යාප්තිය හා ඓතිහාසික පසුබිම


පෞරාණික රෝහණ රාජ්‍යයට අයත් වැදගත් භූමි ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හැඳින්විය හැකි ය. මෙම අධ්‍යයනයේ දී අපගේ විශේෂ අවධානය යොමුවන රන්මලේ කඳුවැටිය අතීතයේ දී “හිරඤ්ඤමලය” ලෙස හඳුන්වා ඇති අතර පළමුවන විජයබාහු රජු රන්මලේ කඳුවැටියේ රෙමුණ පර්වතයේ බලකොටු බැඳ රෝහණයේ යුධ බලය වර්ධනය කරගෙන ඇත (පරණවිතාන, 1972: 401). 




රන්මලය කඳුවැටිය දිවයිනේ දකුණු ප්‍රදේශයේ දැකිය හැකි ප්‍රධානතම ආරක්‍ෂිත කඳුවැටියක් වන අතර, එය උතුරු දෙසින් මධ්‍යම කඳුකරය කරා විහිදෙන කඳු පන්ති හා සම්බන්ධ වී ඇත. රන්මලේ කඳුවැටියේ ඇති දැඩි වනගහනය හා ඉහළ ජල පෝෂක උල්පත් පිහිටීම නිසා නිර්මාණය වී ඇති කුඩා දිය දහරාවන් දකුණු පළාතේ ගංගා ජලයට ක්‍රමයෙන් මුසු වේ. ඒ අතුරින් කිරම ඔය නිම්නයට හිමි වන්නේ විශේෂ වැදගත්කමකි. අප අධ්‍යයන ක්‍ෂේත්‍රයට අයත් ප්‍රදේශයේ නිදහසින් පසු මෙ රට රජයන් බිහි කළ මහා පරිමාණ ජලාශ සංවර්ධන යෝජනා ක්‍රම දෙකක් දැකිය හැකි ය. 
  1. කිරම ඔයේ අතු ගංගාවන් මුල්කර ගනිමින් ආරම්භ කළ මුරුතවෙල ජලාශය.
  2. කිරම ඔයේ, කැකිරි ඔය අතු ශාඛාව මුල්කර ගනිමින් ආරම්භ කළ කැකිරිඕබඩ ජලාශය.

මෙම සංවර්ධන යෝජනා ක්‍රම දෙකෙන් ම හම්බන්තොට ප්‍රදේශයට ජලය සම්පාදනය කරන අතර විශාල ඉඩම් ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන ඇත. මෙම අධ්‍යයන ක්‍ෂේත්‍රයට අයත් ප්‍රදේශ පිළිබඳ ව ලිඛිත ඉතිහාසගත සාක්‍ෂි ඉතා අල්ප අතර පවතින පුරාවිද්‍යාත්මක අවශේෂ ද අවම මට්ටමක පවතී. පළමුවන විජයබාහු රජුගේ කාලයේ රුහුණේ දණ්ඩනායක ධූරය දැරූ සිප්නරුබිම්හි බුදල්නාවෝ රෝහණයේ රන්මලේ කඳුවැටියේ බටහිර බෑවුමේ දිවි ගෙවූ බව පනාකඩුව තඹ සන්නසින් පැහැදිළි වේ (EZ.Vol. v. pp 24-25). අධ්‍යයන ක්‍ෂේත්‍රයන්ට ආසන්නතම පුරා පරිශ්‍රය වන සිත්තම් ගල්ලෙන් විහාරය අනුරාධපුර යුගයට අයත් බවට විශ්වාසයක් පවතින අතර, විහාරස්ථානයේ ඉහළ ගල් ලෙන්වල මහනුවර යුගයේ සිතුවම් දැකිය හැකි ය (පියසිරි හිමි, සම්මුඛ සාකච්ඡාව, 2014). කිරම ඔය නිම්නය පිළිබඳ ව සිදුකරන ලද පූර්ව පර්යේෂණවල දී ප්‍රදේශය පුරාම යකඩ නිෂ්පාදනය පිළිබඳ අවශේෂ ව්‍යාප්ත ව ඇති බව හඳුනාගෙන ඇත (බණ්ඩාර, 2013: 17, ප්‍රසන්න, 2013: 417). මෙම අධ්‍යයනයට පාදක වූ කිරම ඔය මධ්‍ය නිම්න ප්‍රදේශයට අයත් ප්‍රදේශ පිළිබඳ ව ලිඛිත ඉතිහාසගත සාක්‍ෂි නොමැති හෙයින් පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන දත්ත, ප්‍රදේශයේ අතීතය ප්‍රතිනිර්මාණය සඳහා වැදගත් වේ. අධ්‍යයන ක්‍ෂේත්‍රය වටා පිහිටි කිරම, වරාපිටිය, අඹගහහේන, අතපත්තු කන්ද, රාජපුරගොඩ, ගොරකගහවත්ත, කුරුඳුවත්ත, පිටදෙණිය වැනි ප්‍රදේශ පුරා පැරණි යකඩ තාක්‍ෂණය පිළිබඳ ද්‍රව්‍යාත්මක අවශේෂ හමුවීම මගින් මෙම ප්‍රදේශවල රෝහණයේ පැරණි ජනාවාස හා බැඳුණු ආර්ථික ක්‍රියාවලියක් පැවති බව තහවුරු වේ (බණ්ඩාර, 2013: 17). අප අධ්‍යයන ක්‍ෂේත්‍ර දෙකෙහි මහා පරිමාණ වාරි යෝජනාක්‍රමවලට යට වූ භූමිභාගවල ද පැරණි යකඩ කර්මාන්තයට අදාළ සාක්‍ෂි හා ජනාවාස පැවති බවට සාක්‍ෂි හමු වේ (ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014). සශ්‍රීක ජලධාරාවන් උපයෝගී කරගනිමින් නිර්මාණය කළ මෙම ජලාශ ව්‍යාපෘති මගින් විනාශ වී යන පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ මීලඟට අපගේ අවධානය යොමු වේ.




3. හම්බන්තොට මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මූලික ගවේෂණය


ශ්‍රී ලංකාවේ නූතන සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් කේන්ද්‍රගත වූ ප්‍රදේශයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල භූමි ප්‍රමාණයක් වියළි කලාපයට අයත් වේ. මෙම කලාපයේ ම කඳුකර තෙත් කලාපීය දේශගුණික ලක්‍ෂණවලින් යුක්ත කිරම ඔය නිම්නය ආශ්‍රිත ඉහළ ජලධාරා සහිත භූමිය කෙරෙහි මෙයට වර්ෂ ගණනාවකට පෙර සිට ම අවධානය යොමු ව ඇත. ලන්දේසි පාලන සමයේ දී ඌරුබොකු ඔය හරහා ඉදිකළ වේල්ලක් මගින් ප්‍රදේශය අස්වද්දා ඇත (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1972). හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියළි ප්‍රදේශ කරා ජලය රැගෙන යාම සඳහා නිදහසින් පසු රජයන් අවධානය යොමු කරවන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙකක් ලෙස කැකිරිඕබඩ සහ මුරුතවෙල ජලාශ ව්‍යාපෘති හඳුන්වා දිය හැකි ය. මෙම ජලාශ ඉදි කිරීමේ දී එයට යට වූ භූමි ප්‍රදේශ හා හාත්පස ප්‍රදේශ පිළිබඳ 2013, 2014 වර්ෂවල දී අපගේ අවධානය යොමු විය. 2014 ජනවාරි මස සිදු කරන ලද මූලික ගවේෂණය ආශ්‍රිත ව සොයාගන්නා ලද ක්‍ෂේත්‍ර දත්ත මෙම වියමන ඔස්සේ සාකච්ඡාවට බඳුන් වේ.

3.1 අධ්‍යයන ගැටලුව


මෙම අධ්‍යයනයේ දී “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වාරි ව්‍යාපෘති මගින් පුරාවිද්‍යා උරුමයන්ට සිදු ව ඇති බලපෑම කුමක් ද?” යන අධ්‍යයන ගැටලුව අපගේ අවධානයට ලක් වේ. විශේෂයෙන් ම මුරුතවෙල හා කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘති ඉදි කිරීමට භාවිත කළ භූමියේ පැවති පුරාවස්තු හා ද්‍රව්‍යාත්මක අවශේෂ මොනවාද? ඒවාට සිදු ව ඇති බලපෑම කුමක් ද? යන්න අපගේ අවධානයට ලක් විය. ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරු අනුව අදාළ භූමිවල විසිරී ඇති පුරාවස්තු කෙරෙහි මෙහි දී අපගේ අවධානය යොමු විය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී මෙ රට පුරාවිද්‍යා නිලධාරීන් සුළු පරිමාණ සංස්කෘතික සාධක හා නිර්ප්‍රභූ පුරාවස්තු පිළිබඳ ව දක්වා ඇති සැලකිළිමත් භාවය මෙහි දී ප්‍රශ්නගත විය. මෙම අධ්‍යයන ගැටලුව විසඳීමේ දී අදාළ පුරා පරිශ්‍රවල දක්නට ලැබෙන පුරාවස්තු මොනවා ද? එකී පුරාවස්තු වර්ගීකරණය හා ආසන්න කාලාවලියක් සකස් කරන්නේ කෙසේ ද? සංවර්ධන ව්‍යාපෘති මගින් සිදු ව ඇති බලපෑම කුමක් ද? ආදී පර්යේෂණ ප්‍රශ්න කෙරෙහි මෙහි දී විමසිලිමත් වීමට සිදු විය. 

3.2 අධ්‍යයන අරමුණු හා වැදගත්කම


මෙම අධ්‍යයනය මගින් අපේක්‍ෂිත ප්‍රධාන අරමුණ වූයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මගින් පුරාවිද්‍යා උරුමයට එල්ල වී ඇති අභියෝග හඳුනා ගැනීමයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ජල ව්‍යාපෘති දෙකක් වූ මුරුතවෙල හා කැකිරිඕබඩ ජලාශ ඉදි කිරීම මගින් හානියට පත් වූ පුරාවස්තු හා ද්‍රව්‍යාත්මක අවශේෂ හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. ඒ අනුව අදාළ පුරා ක්‍ෂේත්‍රවල සිදු කරන ලද ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් ඒ පිළිබඳ අවධානය යොමු කරවන ලදී. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට මත්තෙන් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා (Archaeology Impact Assessment) ලබාගෙන ඒ පිළිබඳ ව අවධානය යොමු කිරීම මෙ රට නෛතික ප්‍රතිපාදන අනුව සිදු කළ යුතු ය (1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනත, 43අ සහ 43ආ). නමුත් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ දී ජනප්‍රිය තලයේ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව මෙම අධ්‍යයනය මගින් ඉස්මතු කිරීමට හැකි වීම මෙම අධ්‍යයනයේ වැදගත්කම ඉහළ නංවයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ දී චූල සම්ප්‍රදායන්ට හා නිර්ප්‍රභූ ජන කණ්ඩායම්වලට අයත් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික විශේෂ පුරාවස්තු කෙරෙහි අවධානය යොමු කරවීමේ වැදගත්කම පිළිබඳ සංවාදයක් ඇති කිරීමට මෙම අධ්‍යයනය වැදගත් වේ. අපගේ අධ්‍යයන ක්‍ෂේත්‍රවලට අයත් ලිඛිත ඉතිහාසයක් පැහැදිළි ව හඳුනා ගැනීමට නොහැකි නිසා ප්‍රදේශයේ අතීතය ප්‍රතිනිර්මාණයට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අතිශය වැදගත් වේ. එවන් සාක්‍ෂි ඒකරාශි කිරීම ද මෙම අධ්‍යයනයේ වැදගත්කමක් ලෙස දැක්විය හැකි ය. කිරම ඔය නිම්නයේ පැවති පැරණි යකඩ කර්මාන්තය හා ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ කරුණු ඒකරාශි කිරීම හා ඒවා ප්‍රාදේශීය ඉතිහාසය පෝෂණයට දායක කිරීම මෙම අධ්‍යයනයෙන් සිදු ව ඇත.

3.3 අධ්‍යයන ක්‍රමවේදය


මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මගින් පුරාවිද්‍යා උරුමයට එල්ල වී ඇති අභියෝග පිළිබඳ කැකිරිඕබඩ සහ මුරුතවෙල ජලාශයන් ආශ්‍රයෙන් සිදු කරන ලද අප පර්යේෂණයේ දී මූලික වශයෙන් ක්‍ෂේත්‍ර ගවේෂණ ක්‍රමවේදය අනුගමනය කරන ලදී. එහි දී අදාළ අධ්‍යයන ක්‍ෂේත්‍රයන් හි පවතින චූල පරිමාණ නිර්ප්‍රභූ ඉතිහාසයක් ගොඩනංවීමට දායක වන පුරා සාක්‍ෂි ඒකරාශි කිරීමේ දී පහත කරුණු පිළිබඳව ද අපගේ අවධානය යොමු විය. 
I.  අදාල පුරාවස්තු පිහිටි ක්‍ෂේත්‍රය සකස්වීමේ ක්‍රියාවලිය  (Site Formation Process)    
II.  ක්‍ෂේත්‍රවල නියැඳි අවකාශයේ පරිමිතිය  (Size of the sample universe)
III.  ප්‍රදේශයේ සම්පත් ශක්‍යතාව  (Resource Potentials)
IV.  ආංශුක පරිමාණයේ පරිසර සන්දර්භය (Micro environmental Context)
V.  මෑතකාලීන මනුෂ්‍ය ක්‍රියාවන් නිසා ක්‍ෂේත්‍රයට සිදු වී ඇති බලපෑමේ තීව්‍රතාව (Impact of the recent site Modification) 
VI. හඳුනාගත් ක්‍ෂේත්‍රවල කාල වකවානු ස්ථිර කරගැනීමට ප්‍රමානවත් දින වකවානු ආවලියක් (Site Chronology)                                                                               
                                                                         (සෝමදේව,  2006) 
මෙම අධ්‍යයනයේ දී අධ්‍යයන ක්‍ෂේත්‍ර දෙකෙහි සිදු කරන ලද ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් සිදු ව ඇති පුරාවිද්‍යා උරුම විනාශ වීම පිළිබඳ මීළඟට වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බැලීම වැදගත් වේ.

4. මුරුතවෙල ජලාශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදු ව ඇති පුරාවිද්‍යා උරුම විනාශය




හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකාටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුරුතවෙල ජලාශය, එම ප්‍රදේශයේ පිහිටි විශාලතම ජලාශය වේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය ධූරය දැරූ 1960-1965 කාල වකවානුවේ දී මෙම ජලාශය ඉදි කිරීම සිදු විය. මහා පරිමාණ ව්‍යාපෘතියක් වූ මෙම ජලාශය ඉදි කිරීමට තෝරාගත් අති විශාල භූමි ප්‍රමාණයට වටිනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් යට වී ඇති බව ක්‍ෂේත්‍ර අධ්‍යයනය මගින් පැහැදිළි ව හඳුනාගත හැකි විය. මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පහත බසින ජූලි - අගෝස්තු මාසවල දී පහත සඳහන් පුරාවිද්‍යාත්මක අවශේෂ අපට නිරීක්‍ෂණය කළ හැකි විය. 
  1. යබොර අවශේෂ
  2. යකඩ උදුන් කොටස්
  3. යකඩ උණු කිරීමට යොදාගත් කෝව
  4. වායු නල කොටස්
  5. යකඩ උදුන් සවි කරන ලද පරිශ්‍ර

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2013 අගෝස්තු)

මෙයට අමතර ව වැවෙහි මධ්‍ය ප්‍රදේශවල යකඩ උදුන් සමීපයේ ආයුධ කැබලි ලෙස සැක කළ හැකි කොටස් ද හමු වූ බව ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී දත්ත දායකයින් සාක්‍ෂි සපයන ලදී (ගුණරත්න, අවු: 72., වික්‍රමසිංහ, අවු: 44, සම්මුඛ සාකච්ඡා, 2013). මෙම ජලාශයට යට වී ඇති විශාල භූමි ප්‍රමාණයේ ජලය සිඳී යන කාල සීමාවන්හි දී උක්ත පුරාවස්තු අපගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර, ඉතා පැහැදිළි ව පුරාණ යකඩ කර්මාන්තයන් මෙම ප්‍රදේශයේ පැවති බව අපට හඳුනාගත හැකි විය. පැරණි යකඩ නිෂ්පාදනයට යොදාගත් තාක්‍ෂණික ක්‍රමෝපායන් පිළිබඳ ව සාක්‍ෂි ද එහි ලා පැහැදිළි ව නිරීක්‍ෂණය විය.
මුරුතවෙල ජලාශයට යට වී ඇති භූමි ප්‍රදේශවල විසිරී පැවති විශාල වළං කටු සහිත භූමි ප්‍රදේශ රාශියක් මෙයට වර්ෂ දහයකට පමණ ඉහත දී පැවති බවට වාචික ඉතිහාස දත්ත මෙම අධ්‍යයනයේ දී හමු විය (කාරියවසම්, අවු: 46, සම්මුඛ සාකච්ඡාව, 2013). අපගේ ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී මෙම ප්‍රදේශයේ පැවති වළං කටු විසිරුණු ප්‍රදේශ විශාල වශයෙන් හඳුනා ගැනීමට අපහසු විය. නමුත් ජලාශයට යට වී ගිය භූමි භාගය නිරීක්‍ෂණයේ දී හමු වූ වළං කටු විමර්ශණයේ දී පහත ලක්‍ෂණ සහිත වළං හඳුනා ගැනීමට හැකි විය.
  1. හමු වූ වළංකටු අවශේෂවලින් විශාල ප්‍රමාණයක් පළලින් වැඩි ශක්තිමත් බරණිවලට අයත් වළං කැබලි විය.
  2. මෙම වළං කටු අතුරින් RW සහ BRW වළං පැවති බව හඳුනාගත හැකි විය.
  3. කෙමියක් සහිත භාණ්ඩ පරිහරණය කළ බවට සාක්‍ෂි හමු විය.
  4. කොරහ, අප්පල්ලය වැනි මැටි භාජනවලට අයත් යැයි සැක සිතිය හැකි භාණ්ඩ කොටස් හමු විය.
  5. ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී නිරීක්‍ෂණය කළ සමහර වළං කැබලිවල මැටියෙන් ම කළ රටාවන් දක්නට ලැබුණි.

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2013)



මුරුතවෙල ජලාශය ආසන්න ප්‍රදේශ මේ වන විට විශාල වශයෙන් ජනාවාසකරණයට ලක් වී ඇත. එම හේතුව නිසා අවට ප්‍රදේශවල පැවති පුරාවස්තු හඳුනාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් විය. මුරුතවෙල ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මතින් සිදු ව ඇති පුරාවිද්‍යා විනාශයන් ගණනාවක් මෙම අධ්‍යයනයේ දී අපට නිරීක්‍ෂණය විය. ඒවා සංක්‍ෂිප්ත ව පහත පරිදි වේ.
  1. මුරුතවෙල ජලාශය ඉදිකොට ඇත්තේ පුරාණ යකඩ කර්මාන්තය ව්‍යාප්ත ව පැවති භූමි ප්‍රදේශයක වේ.
  2. ශ්‍රී ලංකාවේ පැරණි යකඩ කර්මාන්තයට අයත් වැදගත් පුරා පරිශ්‍ර ගණනාවක් හා පුරාවස්තු ගණනාවක් ජලාශයට යට වී ඇත.
  3. ජලාශයට ජලය පිරීමේ දී හා ජලය ගලා යාමේ දී ජලාශය පතුලේ ඇති පුරාවස්තුවල පිහිටීම වෙනස් වී ඇත.
  4. ජලාශයට යට වූ ප්‍රදේශවල පැවති “වළං කටු විසිරුම්” විනාශ වී ඇති අතර වළං කටු තැන තැන ශේෂ ව දැකගත හැකි ය.
  5. ජලාශයට යට වූ ප්‍රදේශවල පැවති, අතීතයේ දී භාවිත කළ මැටි භාජනවල කොටස් විනාශ වීම හා ක්‍ෂය වී ඇති බව නිරීක්‍ෂණය කළ හැකි ය.
  6. යකඩ නිෂ්පාදනයට අදාළ පැරණි උදුන් කොටස් ජලාශයේ ජලයඅවම වන කාල සීමාවල දී ප්‍රදේශවාසීන් රැගෙන ගොස් ඇත.
  7. ජලාශයේ වැව් තාවුල්ලේ පැවති යකඩ නිස්සාරණයට යොදාගත් පැරණි උදුන් කොටස් හා යබොර අවශේෂ මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් වී ඇත.

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014)

මුරුතවෙල ජලාශය ඉදි කිරීම සිදු ව ඇත්තේ පැරණි ජනාවාසයකට අයත් ප්‍රදේශයක වීම නිසා උක්ත පුරාවස්තු විනාශයන් සිදු වූ බව අපට පැහැදිළි ව හඳුනාගත හැකි විය. මෙම පුරාවස්තු, ප්‍රදේශයේ අතීතයේ පැවති සංස්කෘතික පැවැත්ම පිළිබඳ ව වැදගත් සාක්‍ෂි වේ. නමුත් ඒ පිළිබඳ ව මහා පරිමාණ ජලාශ සංවර්ධන ව්‍යාපෘතියේ දී සැලකිළිමත් වූ බවක් හඳුනාගත නොහැකි ය. මෙම පුරා පරිශ්‍ර පිළිබඳ ව සැලකිළිමත් වූයේ නම් අතීත රෝහණයේ පැවති වැදගත් කර්මාන්තයක් වූ යකඩ නිෂ්පාදනයට අදාළ සාක්‍ෂි පිළිබඳ ව මීට වඩා සාධාරණයක් ඉටු කළ හැකි බව අපට පෙනී ගියේ ය. මුරුතවෙල ජලාශ ව්‍යාපෘතිය මගින් ජනාවාස පුරාවිද්‍යාවට අදාළ සාක්‍ෂි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව හඳුනාගත හැකි විය.






5. කැකිරිඕබඩ මහා පරිමාණ ජල ව්‍යාපෘතිය හා යටපත් වූ යකඩ නිස්සාරණ පරිශ්‍ර


හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කැකිරිඕබඩ ජලාශය මෙයට වර්ෂ පහකට පෙර වත්මන් රජය විසින් ඉදි කරන ලදී. මුරුතවෙල ජලාශය ඉදිකළ කිරම ඔය නිම්නයේ ම මෙම ජලාශය ද ඉදිකර ඇත. කිරම ඔයේ ඉහළ අතු ශාඛාවක් වන කැකිරි ඔය හරස් කර ඉදි කළ මෙම කැකිරිඕබඩ ජලාශයට ද විශාල භූමි ප්‍රමාණයක් යටවී ඇත. කැකිරිඕබඩ ජලාශයේ ජලය හම්බන්තොට පහත් ප්‍රදේශවලට මේ වන විට ද ලබාදෙන නමුත්, ජලාශයේ සියලු ඉදිකිරීම් සම්පූර්ණ කර නොමැත.






මෙම ජලාශයේ ඇති විශේෂත්වය වන්නේ ජලාශය ඉදිකිරීමේ දී එයට යටවන භූමිභාගවල කුඩා කඳු හා නිම්න ප්‍රදේශ රාශියක් අන්තර්ගත ව පැවතීම යි. මෙම ජලාශ ව්‍යාපෘතියට යටකර ඇති භූමිභාග නිරීක්‍ෂණයේ දී ප්‍රදේශයේ යකඩ නිෂ්පාදනය කළ විශාල පරිශ්‍ර ගණනාවක් ජලාශයට යටවන භූමිවල දැකිය හැකි ය. කැකිරිඕබඩ ජලාශයට යටවී ඇති භූමි ප්‍රදේශවල ද යබොර හා උදුන් කොටස් පැවති බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලබාගත හැකි විය (ජිනසේන ,අවු: 56, සම්මුඛ සාකච්ඡාව, 2014). මෙම ජලාශයේ ජලය අඩුවන කාලසීමාවල දී ජලාශයේ ඉහළ ප්‍රදේශවල යබොර අවශේෂ පැහැදිළි ව නිරීක්‍ෂණය කළ හැකි විය (ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014). එමෙන් ම ජලාශයෙන් පිටතට විවෘතව ඇති ඇළ මාර්ගය ඔස්සේ ද යබොර කැබලි ගසාගෙන ගොස් පවතින අන්දම මෙහි දී නිරීක්‍ෂණය විය.




කැකිරිඕබඩ ජලාශයේ හාත්පස ප්‍රදේශයේ හා ජලාශයට අයත්, තවමත් ජලයෙන් නොවැසුනු කුඩා කඳු සහ නිම්න ප්‍රදේශවල විශාල වශයෙන් යබොර විසිරුම් ව්‍යාප්ත බව අපට නිරීක්‍ෂණය විය. මෙම යබොර ප්‍රධාන කොටස් කිහිපයක් යටතේ වර්ග කර හඳුනාගත හැකි විය.
  1. විශාල ප්‍රමාණයේ යබොර කුට්ටි (ආසන්න වශයෙන් 60cm x 30cm ප්‍රමාණයේ)
  2. මධ්‍යම ප්‍රමාණයේ යබොර අවශේෂ (20cm x 10cm)
  3. සුළු පරිමාණයෙන් ගලාගිය දිගැටි යබොර අවශේෂ (10cm x 6cm)
  4. ඉතා කුඩා යබොර කැබලි (2cm x 1cm)

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014)

ඉහත දැක්වූ යබොර අවශේෂවල ආසන්න ප්‍රමාණයට වඩා අඩු වැඩි කොටස් ගණනාවක් මෙම ජලාශය වටා ප්‍රදේශවල ව්‍යාප්ත ව පවතී. වඩාත්ම දැකිය හැකි යබොර විසිරුම පළමු ගණයට අයත් වේ. කඳු දෙකක් මැදින් සුළං හමන දිශාවකට මුහුණලා පිහිටි භූමිවල මෙම විශාල යබොර බහුල ව දැකිය හැකි විය. විශාල ප්‍රමාණයේ සිට කුඩා ප්‍රමාණය දක්වා විසිරුණු මෙම යබොර විසිරුම් කැකිරිඕබඩ ජලාශය වටා ප්‍රදේශවල බහුල ව දැකිය හැකි වේ. නමුත් මෙම ප්‍රදේශයේ යකඩ නිෂ්පාදනය කළ බවට උදුන් සාධක බහුල ව හමු වේ. මෙම ප්‍රදේශය වටා වළං කටු විසිරුම් දැකිය හැකි වුව ද ඒවා මුරුතවෙල ජලාශ භූමියට සාපේක්‍ෂ ව පහත අගයක් ගනු ලබයි. ප්‍රදේශයේ පැවති අතීත යකඩ නිෂ්පාදනය පිළිබඳ සාධක පෙන්නුම් කරන මෙම යබොර අවශේෂ විසිරුණු භූමිභාග මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයක් ජලාශයට යට වී ඇත. ඉතිරි පරිශ්‍රයන් ද ක්‍රමයෙන් ජලාශයට යටවිය හැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව පැහැදිළි විය.



කැකිරිඕබඩ ජලාශය ඉදි කිරීමේ දී වුව ද මෙම යකඩ නිශ්පාදන භූමි පිළිබඳ ව අවධානය යොමු වූ බවක් අපට හඳුනාගත නොහැකි ය. මෙම ප්‍රදේශය පිළිබඳ ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර මගින් කිසිඳු වැදගත් සාක්‍ෂියක් හමු නොවුන ද, මෙ වැනි පුරාවිද්‍යා සාක්‍ෂි මගින් අතීත ජනාවාස හා තාක්‍ෂණික ඥාණය පිළිබඳ ව වැදගත් තොරතුරු අනාවරණය වේ. ජලාශ ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ලද භූමිවල පවතින පුරාවස්තු විනාශ වීම නිසා මෙම ප්‍රදේශයේ අතීතය පිළිබඳ සාක්‍ෂි සම්පූර්ණයෙන් විනාශ වීමට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වී ඇති බව පෙනී යයි.

සමාලෝචනය


මෙම අධ්‍යයනය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති දෙකක් වූ මුරුතවෙල හා කැකිරිඕබඩ ජලාශ ඉදි කිරීම මගින් ප්‍රදේශයේ පුරාවස්තුවලට සිදු වූ බලපෑම අවධානයට ලක් විය. සශ්‍රීක ජල දහරාවන්ගෙන් හෙබි කිරම ඔය ඉහළ නිම්නයේ ඉදි කළ මෙකී ජලාශ ව්‍යාපෘතිවලට රෝහණයේ පැරණි ජනාවාස යටවී ඇති බව ක්‍ෂේත්‍ර අධ්‍යයනවල දී පැහැදිළි විය. මෙම ජලාශ ඉදි කිරීමේ දී යකඩ නිෂ්පාදනයට අදාළ පුරාවස්තු හෝ ජනාවාස ව්‍යාප්තිය පෙන්නුම් කරන වළං කැබලි විසිරුම් පිළිබඳ ව අවධානයක් යොමු නොකළ බව පැහැදිළි ව හඳුනාගත හැකි විය. අපගේ අධ්‍යයන ක්‍ෂේත්‍රවල අතීතය පිළිබඳ ව ලිඛිත මූලාශ්‍ර දක්වන නිහඬතාවය බිඳ දමා ඇති මෙම පුරාවස්තු පිළිබඳ ව බොහෝ දෙනෙකු තොරතුරු නොදනී. ප්‍රදේශයේ අතීතයේ පැවති සංස්කෘතික පැවැත්ම චිත්‍රණය කළ හැකි වටිනා පුරාවස්තූන් පිළිබඳ ව නිසි අවධානයක් යොමු නොවීම මගින් මෙම ප්‍රදේශයේ පැවති අතීත තත්ත්වයන් පිළිබඳ ව තොරතුරු ජාතික ඉතිහාස තලයෙන් බැහැර වීමේ අවදානමක් පවතින බව පැහැදිළි වේ. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මගින් විශාල ජනතාවකට සෙත සැලසිය හැකි නමුත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති යෝජනා සැලසුම් කිරීමේ දී සුළු පරිමාණයේ පුරාවස්තු පිළිබඳ සැලකිළිමත් නොවූ බව මෙම අධ්‍යයනයෙන් අපට පැහැදිළි විය. ජනප්‍රිය තලයේ පුරාවස්තු නොමැති ප්‍රදේශවල දැකිය හැකි මෙවන් නිර්ප්‍රභූ පුරාවස්තු පිළිබඳ සැලකිළිමත් වීම අදාළ ප්‍රදේශයේ අතීතය නිවැරදි ව ගොඩනැංවීමට බලපාන බැවින් පුරාවිද්‍යාඥයින්ගේ අවධානය මෙවන් ක්‍ෂේත්‍ර කෙරෙහි යොමු කිරීම වැදගත් බව අධ්‍යයන දත්ත මත පදනම් වෙමින් අවසාන වශයෙන් සටහන් කරනු කැමැත්තෙමු.

ආශ්‍රිත ග්‍රන්ථ


සෝමදේව, ආර්., 2006. “අවකාශය හා මානවකෘති සමාජ සංකීර්ණතාවේ පුරාවිද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස”. ජාතික පුරාවිද්‍යා සමුළුව ප්‍රකාශනය, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

බණ්ඩාර, ඩී. හා එස්. ප්‍රසන්න, 2013. “පළමුවෙනි විජයබාහු රජු හා සබැඳි ඓතිහාසික ස්ථානවලින් හමුවන යබොර අවශේෂ පිළිබඳ පුරාවිද්‍යාත්මක විමර්ශනයක්”. පළමු ජාතික පර්යේෂණ සමුළු ප්‍රකාශනය. මිහින්තලේ: රජරට විශ්වවිද්‍යාලය.

බණ්ඩාර, ඩී., 2013. “සිංහරාජ වනාන්තරයේ වයඹදිග බෑවුම ආශ්‍රිත පුරාණ යකඩ කර්මාන්තය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි”. පුන්කලස: පුරාවිද්‍යා වාර්ෂික සමුළු ප්‍රකාශනය, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

ප්‍රසන්න, ඩබ්ලිව්. ඒ. එස්., 2013. “කිරම ඔය නිම්නයේ පැරණි යකඩ කර්මාන්තය පිළිබඳ ව පුරාවිද්‍යාත්මක විමර්ශනයක්”. පුන්කලස: ජාතික පුරාවිද්‍යා සමුළු ප්‍රකාශනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

රණවැල්ල, එස්., 2003. රෝහණ දේශයේ ඉතිහාසය, මාතර: රුහුණ විශ්වවිද්‍යාලයීය ප්‍රකාශන.

ද සිල්වා, එන්., ඩබ්ලිව්. එච්. විජේපාල හා එස්. රණසිංහ, සංස්කරණය, 2005. හම්බන්තොට දිස්ත්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය,  කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල.

පරණවිතාන, එස්., සංස්කරණය, 1972. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය: ස කාණ්ඩය සස භාගය, කැලණිය: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.

Somadeva, R. 2006. Urban Origins in Southern Sri Lanka, Uppsala: Uppsala University.

Juleff, G. 1998. Early Iron and Steel in Sri Lanka, Germany: Impresco en Almenia.


දත්ත දායකයින්


අගලබඩ පියසිරි හිමි, වයස අවු: 71, රෝහණ පාර්ශ්වයේ අනුනායක, සිත්තම්ගල්ල රජමහා විහාරය, වරාපිටිය, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2014.

කේ. පී. ගුණරත්න, අවු: 72. අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත. රදනිආර, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2013.
එච්. කේ. වික්‍රමසිංහ, අවු: 44, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, රදනිආර, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2013.

එච්. ඒ. එම්. කාරියවසම්, අවු: 46, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, පිස්සුබැද්ද, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2013.

ආර්. එල්. ජිනසේන, අවු: 56, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, පොතුවිල, පිස්සුබැද්ද, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2014.