Monday, May 28, 2018

Traditional Cane Crafts in Ilumbakanda Village, near the Sinharaja Rain Forest

 සාම්ප්‍රදායික වේවැල් කර්මාන්තය 

සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර බෑවුම ආශ්‍රිත
ඉලුඹකන්ද ගම්මානය ඇසුරින් සිදු කරන ලද අධ්‍යයනයක්

ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝව විසින් නම් කරන ලද සිංහරාජය වැසි වනාන්තරය ජෛව කෞතුකාගාරයක් බඳු වේ. ජෛව විද්‍යාත්මකව සිංහරාජය පිළිබඳ නිරන්තරයෙන් විද්වතුන්ගේ අවධානය යොමු වුවද, එහි මානව ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනයන් ඉතා සීමිත ය. ශ්‍රී ලංකාවේ පවතින නෛතික රාමුව නිසා වනාන්තර ආශ්‍රයෙන් යැපීමට හුරු වූ මිනිස් කොට්ඨාසයන්ගේ ක්‍රියාකාරිත්වය යටපත් වුවද වර්තමානයේ පවා එහි සේයාවන් හදුනාගත හැකි ය. ඒ අනුව සිංහරාජ වනාන්තරය ආශ්‍රිත සිදු කරන ලද සාම්ප්‍රදායික කර්මාන්තයන්ගේ තොරතුරු සමූහයක් ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී හමු විය. ඒ අතරින් ඉලුඹකන්ද ගම්මානය ආශ්‍රිතව පැවති වේවැල් කර්මාන්තය සුවිශේෂී ලක්ෂණ ඉස්මතු කරනු ලබයි. වර්තමානයේ වියැකී යන මෙම කර්මාන්තය, ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමේ වෑයමකට වඩා එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් හඳුනාගත හැකි විය. දිවයිනේ නන්දෙස වේවැල් කර්මාන්තය පැවතුනද, වර්තමානයේ ඉලුඹකන්ද ගම්වාසීන් මෙම කර්මාන්තයෙහි නියැලෙන්නේ ඉතා සීමිත වශයෙනි. ක්‍ෂේත්‍ර අධ්‍යයනයේදී හමු වූ තොරතුරු අනුව මෑත අතීතයෙහි ඉලුඹකන්ද ගමෙහි සියල්ලන්ම පාහේ මෙම කර්මාන්තය සඳහා නිපුණයන් ව සිටි බව පසක් වේ.



Monday, May 7, 2018

A Historical Inquiry of Dissemination Islam in South East Asia When Accrescence of Malakka

මලක්කාවේ වර්ධනයත් සමඟ අග්නිදිග ආසියාවේ ඉස්ලාම් ධර්මයෙහි සිදු වූ ව්‍යාප්තිය පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්





























Positions hold by Parumakas and their social background revealed from early brahmi inscriptions

“බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රවලින් හෙළිවන පරුමකවරුන්ගේ උසස් සමාජීය පසුබිම තහවුරු කෙරෙන තනතුරු පිළිබඳ ඓතිහාසික විමර්ශනයක්”






ප්‍රවේශය


ලක්දිව වංසකතා රචනය ආරම්භ වන්නේ, ක්‍රි.ව. හතරවන සියවසේ පටන් ය. එනම්, මහින්දාගමනයෙන් සියවස් අටක් පමණ ඉකුත් වූ පසුව බව කිව හැකි ය. මෙ කල අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් නව පාලන රටාවක් ස්ථාපනය වී තිබුණි. මෙ රට වංසකතා ගෙනහැර දක්වන ආගමික ඉතිහාසය අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් රචනා වීම කෙරේ මෙය හේතුවක් විය. දිවයිනේ ප්‍රාදේශීය ඉතිහාසය ජාතික ඉතිහාස ධාරාවෙන් බැහැර ව යටපත් ව යෑම කෙරෙහි මෙම තත්ත්වය ඍජුව ම බලපෑවේ ය. ප්‍රධාන වශයෙන් මෙ රට ප්‍රාදේශීය ව සැලකිය යුතු මට්ටමේ පාලනාධිකරියක් ක්‍රියාත්මක වූ බවට රෝහණ රාජ්‍යයෙන් හමුවන අභිලේඛන මූලාශ්‍ර සාක්ෂි දරයි. එපමණක් නොව දිවයිනේ සෑම පළාතකින් ම පාහේ හමුවන අභිලේඛන මූලාශ්‍ර අනුව ප්‍රාදේශීය වශයෙන් නිල තනතුරු හිමි වූ කොට්ඨාසයන් විසූ බවට අනාවරණය වේ. මෙවන් අභිලේඛන මූලාශ්‍ර අතර බහුල ව හමුවන අභිධානයක් ලෙස “පරුමක” යන්න හඳුනාගත හැකි ය. මූලාශ්‍රගත තොරතුරු අනුව ඔවුහු තත්කාලීන සමාජයෙහි යම් බලයක් සහ ප්‍රමුඛතාවයක් සහිත ව විසූවන් බව පැහැදිලි වේ. මෙම ඓතිහාසික විමර්ශනයේ දී මෙම “පරුමක” අභිධානය ලද්දන් කවුරුන් ද? ඔවුන් සමාජයෙහි නිල තනතුරු හොබවමින් කවර තරාතිරමක ස්ථානගත වූයේ ද? යන්න පිළිබඳ ව කරුණු පෙළගැස්වීමට අපේක්ෂිත ය.

01. හැඳින්වීම


ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස අතර කාලපරිච්ඡේදයේ ලාංකේය සමාජ ස්ථරායනයේ ඉහළින් වැජඹුණු පිරිසක් ලෙස පරුමකවරු හඳුනාගත හැකිය (Hettiarachchi,1972:76). මහින්දාගමනයත් සමග ව්‍යාප්ත වූ ලක්දිව අක්ෂර කලාව නිසා සංඝාරාම පූජාවන්හි දී ලෙන් ලිපි ලියවීමේ ක්‍රමයක් ආරම්භ විය. පරුමක යන අභිධානය මෙවන් අභිලේඛන අතර සුලබ ව හමුවන්නකි. මෙම පරුමක යන අභිධානය ලද්දන් ක්‍රි.පූ. තෙවන සියවසේ දී පවා නිලතනතුරු හොබවමින් ආරාම පූජාවන්හි නිරත වී අභිලේඛන කරවීම අනුව ක්‍රි.පූ. තෙවන සියවසට පෙර සිට එනම්, මහාන්දාගමනටත් පෙර සිට පරුමක යන අභිධානය පැවති බව ස්ඵුඨ කරයි. එසේ නොවී නම්, ක්‍රි.පූ. තෙවන සියවස වන විට ඔවුහු ලබා සිටි උසස් සමාජ තත්ත්වය එකවර ළඟා කර නොගත්තක් වන බව පැහැදිලි ය.

දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදු වූ මහින්දාගමනයත් සමග ලක්දිව සිසාරා විහිද ගිය ආගමික ප්‍රබෝධය අනුව සමකාලීන සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කරන ලද කොටස් ඊට අනුග්‍රහ දැක්වීම සඳහා නිරතුරු ව ඉදිරිපත් වූහ. එහි දී රජු, මැති ඇමතිවරු මෙන් ම රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ ඉහළ නිලතල දැරූ පුද්ගලයන් ප්‍රමුඛ ව බෞද්ධාගමේ උන්නතියට කටයුතු කළා සේ ම ප්‍රාදේශීය වශයෙන් ඉහළ සමාජ මට්ටමක් ඉසිලූ පරුමක, ගමික, බත ආදී අභිධාන ලද්දන් ද සිය අප්‍රතිහත ධෛර්යය බෞද්ධාගමේ ප්‍රබෝධය උදෙසා කැප කළ බවට බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර සාක්ෂි දරයි. විශේෂයෙන් මෙම විමර්ශනයේ දී උක්ත පරුමක අභිධානය ලද්දන් පිළිබඳ ව පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ. ප්‍රකාශිත මූලාශ්‍ර මත මෙම විමර්ශනය සිදු වුව ද වර්තමානයේදී ද මොවුන් පිළිබඳ ව අධ්‍යයනය කළ හැකි බොහෝ බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර වනගත ව හෝ වෙනයම් අයුරකින් යටපත් ව පැවතිය හැකි ය. පවතින මූලාශ්‍ර අනුව පරුමකවරු ප්‍රාදේශීය වශයෙන් බෞද්ධාගමේ උන්නතියට කැප වූ පිරිසක් බව හඳුනාගත හැකි ය. එකී මූලාශ්‍රයන්හි දැක්වෙන කෙටි පාඨයන් ආශ්‍රයෙන් ඔවුන්ගේ සමාජීය තත්ත්වය යම්තාක් දුරකට අධ්‍යයනය කළ හැකි වීම විශේෂත්වයකි.

02. අධ්‍යයන ගැටලුව


මෙම ඓතිහාසික විමර්ශනයේ දී ප්‍රධාන අධ්‍යයන ගැටලුව පිළිබඳ ව අවධානය යොමු කිරීම වැදගත් වේ. ඒ අනුව,
“බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රවල එන පරුමකවරු දරන ලද නිල තනතුරු අනුව ඔවුන් තත්ත්කාලීන සමාජයේ ඉහළ ස්ථරය නියෝජනය කරන්නේ ඇයි?”
යන ප්‍රශ්නය ප්‍රධාන අධ්‍යයන ගැටලුව ලෙස ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රයවල එන පරුමකවරු යනු කවුද? ඔවුන් උසුලන ලද තනතුරු හා වරප්‍රසාද මොනවාද? පරුමකවරු අධ්‍යයනයට ලක්කළ යුතු පිරිසක් වන්නේ, කවර හේතු නිසාද? යන්න සෙසු අධ්‍යයන ප්‍රශ්න වශයෙන් හඳුනාගත හැකි ය. මෙකී ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි මෙම විමර්ශනයේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වේ.

03. අරමුණ


මෙකී විමර්ශනයේ දී පරුමක යන අභිධානය ලද්දන් කවුරුන්ද? යන්න පිළිබඳ ව යම් අදහසක් සමාජගත කිරීමට අපේක්ෂිත ය. එමෙන් ම අතීත ලක්දිව සීමාසහිත කාලපරිච්ඡේදයක ජීවත් වූ මෙම පිරිස ප්‍රාදේශීය වශයෙන් බෞද්ධාගමේ උන්නතියට දායක වූ ප්‍රමුඛතම කොට්ඨාසයක් වශයෙන් ඔවුන්ගේ තනතුරු විශ්ලේෂණය කරමින් සමාජ ස්ථරායනයේ ඉහළින් වැජඹුණු පිරිසක් බවට තහවුරු කිරීම මෙම ඓතිහාසික විමර්ශනයේ දී ප්‍රධානත ම අරමුණ වශයෙන් පෙන්වා දිය හැකිය. ලෙන් ලිපි යනු තොරතුරු අතින් පොහොසත් මූලාශ්‍රයන් නොවුණ ද එකී මූලාශ්‍ර පුළුල් ව විශ්ලේෂණය කරමින් පරුමකවරු දරන ලද නිල තනතුරු අනුව ඔවුනගේ සමාජීය පසුබිම පිළිබඳ ව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි ය. මෙම තොරතුරු අනුව පරුමකවරුන්ගේ සමාජගත කාර්යභාරය සේ ම මධ්‍ය සහ පා්‍රදේශීය පාලනයන්හි දී ඔවුන්ගේ දායකත්වය පිළිබඳ ව විමසීමෙන් පරුමක අභිධානය ලද්දන් සමාජ ස්ථරයේ ඉහළින් ස්ථානගත කළ හැකි පිරිසක් බව අනාවරණය කිරීම මෙම විමර්ශනයෙහි දී අරමුණ වන බව පෙන්වාදිය හැකි ය.

04. ක්‍රමවේදය


මෙම ඓතිහාසික විමර්ශනයේ දී ප්‍රධාන වශයෙන් “මූලාශ්‍ර පරිශීලන” ක්‍රමවේදය භාවිතා කරනු ලැබේ. එනම්, සරල ව පුස්තකාල සමීක්ෂණය වශයෙන් දැක්විය හැකි අතර එහි දී ප්‍රාථමික, ද්විතීයික සහ අභිලේඛන මූලාශ්‍ර විමර්ශනය කෙරෙහි ප්‍රමුඛස්ථානයක් හිමි වේ. ඒ අනුව අභිලේඛන මූලාශ්‍ර මත ප්‍රධාන වශයෙන් මෙම විමර්ශනය රඳා පවතින බව පෙන්වාදිය හැකි ය. අභිලේඛන මූලාශ්‍රයන් ගෙනහැර දක්වන තොරතුරු ප්‍රාමාණික ව සීමිත වුව ද, මෙකී විමර්ශනයේ දී පරුමක අභිධානය ලද්දන් සහ ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ දේශපාලනික පසුබිම ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා එය මහත් දායකත්වයක් සපයයි. මෙහි දී ප්‍රධාන වශයෙන් දැනට ප්‍රකාශිත අභිලේඛන මූලාශ්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු වන අතර එකී තොරතුරු මෙම අධ්‍යයන ගැටලුව නිරාකරණය කිරීම උදෙසා ප්‍රමාණවත් වන බව මෙහි ලා සඳහන් කළ හැකිය.

05. බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර


බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍ර අධ්‍යයනයේ දී “පරුමක” යන අභිධානය සුලබ වුව ද වංසකතා ආදී ප්‍රාථමික මූලාශ්‍රයන්හි එය දුර්ලභ වන බව දැක්විය හැකි ය. මේ අනුව පරුමක යන අභිධානය ලද්දන් පිළිබඳ ව විමර්ශනය කිරීමෙහි ලා සුදුසු ම මූලාශ්‍රය අභිලේඛන බව වෙසෙසින් දැක්විය හැකිය. එසේ වුව ද අභිලේඛන මූලාශ්‍ර අතරින් ද පරුමකවරු හමුවන්නේ, එක්තරා කාලපරිච්ඡේදයක දී පමණි. එනම්, දේශීය ලේඛන කලාව ඇරඹි ක්‍රි.පූ. තෙවන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස අතර කාලපරිච්ඡේදය යි. ඒ අනුව කාල නිර්ණය ක්‍රි.ව. පළමුවන සියවසට පැමිණීමේ දී පරුමක අභිධානය අභිලේඛන මූලාශ්‍ර මතින් ගිළිහී යෑමක් නැතහොත් විරල වීමක් හඳුනාගත හැකි ය.
බ්‍රාහ්මී අක්ෂර යනු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මුල්කාලීන ව භාවිත වූ අක්ෂර ලෙස හඳුනාගත හැකි ය. ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් පිහිටුවන ලද අශෝක ස්ථම්භයන්හි ඉන්දියාවේ ආදිත ම බ්‍රාහ්මී අක්ෂර හඳුනාගත හැකි අතර එම අක්ෂර ලාංකේය බ්‍රාහ්මී අභිලේඛන බිහි වීම කෙරෙහි බල පෑ බවට විශ්වාස කළ හැකි ය. ලංකාවේ මුල් ම අක්ෂර දක්නට ලැබෙන්නේ, බොහෝ විට ගල් ලෙන්වල කටාරමට යටින් කෙටි වැකි ලෙසිනි. මෙ වැනි ලිපි දෙදහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් ම පාහේ සොයාගෙන තිබේ. ගල් ලෙන් පූජා කළ අය, ඔහුගේ පරම්පරාව හෝ තනතුර ද සමරහරවිට ගල්ලෙනෙහි නම ද එය පැමිණි නොපැමිණ සිව්දෙසින් වඩින සංඝයාට පූජා කරන ලද බව ද මෙහි සඳහන් වේ. මෙම ලෙන් ලිපිවල අක්ෂර අශෝක බ්‍රාහ්මී අක්ෂර මාලාවට නෑකම් කීවද භාෂාව සිංහල ප්‍රාකෘත වේ. පාලි සහ සංස්කෘත භාෂාවේ වචන තත්භව සහ තත්සම වීමෙන් බොහෝ විට සිංහල ප්‍රකෘත වචන නිර්මාණය වී තිබේ. එහෙත් නිෂ්පන්න වචන ද සීමිත සංඛ්‍යාවක් දක්නට ඇත (වික්‍රමසිංහ, 2007:05).
මේ අනුව ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාලපරිච්ඡේදයේ දී ලියැවී ඇති අභිලේඛන මුල්කාලීන බ්‍රාහ්මී ලිපි වශයෙන් හඳුනා ගත හැකි ය. මෙම අභිලේඛන මූලාශ්‍රයන් කෙටි වැකි එකකින් හෝ සීමිත සංඛ්‍යාවකින් යුක්ත විය. ඒ නිසා සමකාලීන සමාජ, ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳ ව පැහැදිලි වියමනක් කීරීම අසීරු වේ. නමුත් සමකාලීන තොරතුරු සම්බන්ධයෙන් විශ්වසනීය ම මූලාශ්‍රය අභිලේඛන වේ. එබැවින් පරුමක අභිධානය ලද පිරිස පිළිබඳ ව ඍජු, විශ්වසනීය තොරතුරු හමුවන ප්‍රමුඛතම මූලාශ්‍රය බ්‍රාහ්මී අභිලේඛන බව පැහැදිලි ය.

06. පරුමක අභිධානය සහ ඒ පිළිබඳ ව පවතින විද්වත් මත


ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතරතුර කාලපරිච්ඡේදයට අයත් බ්‍රාහ්මී අභිලේඛන මූලාශ්‍රයන්හි ඉදිරිපත් කෙරෙන “පරුමක” යන අභිධානය ලද පිරිස කෙරෙහි මෙයට දශක කිහිපයකට පෙර සිට ම විද්වතුන්ගේ අවධානය යොමු වූ බව පූර්ව පර්යේෂණයන්ට අනුව පැහැදිලි වේ. නමුත් මෙම සුවිශේෂී පිරිස කවුරුන් ද? යන්න පිළිබඳ පැහැදිලි වූත් ඍජු වූත් පිළිතුරක් දීම අපහසු වග විද්වතුන්ගේ අදහස් අනුව ගම්‍ය වේ. අභිලේඛන මූලාශ්‍ර මත පරුමකයා යනු කවරෙක් ද? යන්න පිළිබඳ ව විමසා බැලීමට ප්‍රථම පූර්ව පර්යේෂණයන්ට අනුව විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි “පරුමක” යන අභිධානය පාලියෙන් “ප්‍රමුඛ” හෝ “පාමොක්ඛ” යනුවෙන් ද සකු බසින් “පරුමක” ලෙස ද ව්‍යුත්පන්න වූවකි. එමෙන් ම බුද්ධකාලීන වංශවත් රාජ්‍යයන් කුලීනයන් වෙත පිරිණැමූ අභිධානයකි යන්න ද එතුමාගේ අදහසකි (Hettiarachchi, 1972: 69). ඔවුහු පරිපාලන නිලධාරී පන්තියක් යැයි පරණවිතාණ සූරීන් මත පළ කළ ද (Hettiarachchi, 1972: 75), දේශපාලන කාර්යයෙහි ලා නියුක්ත වූ ආකාරය මෙන් ම රජු සමග කිනම් ස්වභාවයක සබඳතාවයක් පවත්වාගෙන ගියේදැයි පැවසීම අසීරු ය. පරුමකවරු රජ පැළැන්තියේ ඇත්තන් හා ආවාහ විවාහ සිදු කළ බවට අභිලේඛන සපයන තොරතුරු අනුව (Hettiarachchi, 1972: 73) සමාජ ස්ථරායනයෙහි ඉහළින් සිටි බවත්, පෞද්ගලික ආරාම පූජාවන්හි නිරත වීමෙන් ආර්ථික වශයෙන් ස්ථාවර පිරිසක් බවත් හඳුනා ගැනුණ ද ඉන් ඔබ්බට ගිය සවිස්තර වාර්තාකරණයක් නොමැති තරම් ය. සමකාලීන සමාජ ස්ථරායනයේ “අය” යන අභිධානය ලද්දන් පරුමකවරුන්ට වඩා ඉහළින් වැජඹුණු අතර ඔවුහු රාජ්‍ය පාලන කාර්යයෙහි ලා ඍජු ව සම්බන්ධ වූවන් බව හඳුනා ගත හැකි ය. නමුත් පරුමකවරු රාජ්‍ය පාලනයට ඍජු ව සම්බන්ධ නොවුණ ද පරිපාලන නිලධාරීන් සේ කටයුතු කළ බව සඳහන් වේ. ලිඛිත මූලාශ්‍ර ඔස්සේ ලැබෙන සාක්ෂි ඒ බව සනාථ කිරීමට ඉවහල් වේ. කෙසේ වුව ද ක්‍රි.ව. පළමුවන සියවසින් පසු පරුමකවරු පළිබඳ ව සඳහන් අභිලේඛනමය සාක්‍ෂි හමු නොවේ. එනම්, ලම්භකර්ණ රාජ්‍ය වංශයෙහි ආරම්භයත් සමග පරුමක යන අභිධානය මෙ රට සමාජයෙන් වියැකී යන්නට ඇති බවට සැක කළ හැකි ය (Hettiarachchi, 1972: 67-75).
මහාචාර්ය ගුණවර්ධන (1982) ප්‍රකාශ කරනු ලබන්නේ, පරුමක අභිධානය ලද්දන් යනු ක්‍රිස්තු පූර්වයෙන් අවසන් සියවස් ද්වයෙහි විසූ විකේන්ද්‍රණය වූ පරිපාලන ව්‍යුහය තුළ දේශපාලනික බලයක් දරන ලද කොට්ඨාසයක් බවයි. නමුත් මහාචාර්ය සෙනෙවිරත්න (1989) විසින් පරුමක අභිධානය ලද්දන් සමකාලීන දකුණු ඉන්දියාවෙහි ද්‍රවිඩ ගණ නායකයන් හා සැසඳීමට උත්සාහ දරනු ලබයි (Somadeva, 2006: 290). මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය Urban Origins in Southern Sri Lanka කෘතියෙහි පරුමක යන අභිධානය බිහි වූ අන්දම පැහැදිලි කරන්නේ මෙසේ ය.



මෙකී සටහන්වලට අනුව පවුලක ප්‍රධානියා වන “ගපති” පිරිසකගේ සම්මුතියෙන් ගමක ප්‍රධානියා වශයෙන් ගමික පත් වේ. ඉන් පසු “ගමික” පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ගේ ප්‍රධානියා ලෙස “පරුමක” ඉස්මතු වේ. මේ අනුව පරුමක යන අභිධානය ලද්දා ග්‍රාමයන් කිහිපයක නායකත්වය දරන බව හඳුනාගත හැකි ය. මේ අනුව සමකාලීන ව විකේන්ද්‍රණය වූ දේශපාලන බලාධිකරයක් ක්‍රියාත්මක වන්නට ඇති බවට විශ්වාස කළ හැකි වේ. එනම්, ප්‍රාදේශීය වශයෙන් ඉහළ ස්ථරයේ බලයක් හොබවන ලද පිරිසක් ලෙස පරුමකවරු හඳුනාගත හැකි වීම ය.
විශේෂයෙන් ම පරුමක යන අභිධානය ලද කාන්තාවන් පිළිබඳව ද අභිලේඛන මූලාශ්‍ර මගින් හඳුනාගත හැකි ය. මෙම විරුදය කාන්තාවන්ට භාවිතා කිරීමේ දී “පරුමකලු”, “පරුමකලි” ආදී වශයෙන් යෙදී තිබීම විශේෂත්වයකි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි රිටිගල, මරක්කලඋල්පොතින් හමු වූ ලෙන් ලිපියක් එයට නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය.
Parumaka - Retaha jhaya Parumaka - Naguli - jhita, parumakalu - Di[pani]ya lene sagasa dine
(IC, vol I, 1970: 21p, 260)
පරුමක “නගුලි”ගේ දියණිය වූ ද, පරුමක “රැට”ගේ භාර්යාව වූ ද, පරුමකලු “දීපනී”ගේ ලෙන සංඝයා වහන්සේලාට පූජා කරන ලදී යනුවෙන් මෙහි සඳහන් වේ. මෙහි සඳහන් පරුමකලු “දීපනී”ගේ පියා මෙන් ම ස්වාමියා ද පරුමක අභිධානය ලද්දන් බව දැක්වෙන අතර මෙම අභිධානය පාරම්පරික ව හිමිවන්නක් නොවන බව වෙසෙසින් දැක්විය යුතු ය. අභිලේඛන මූලාශ්‍ර මැනවින් පරික්ෂා කිරීමේ දී ඇතැම්විට පරුමක අභිධානය ලද්දන් අතර ම ආවාහ විවාහ සිදුවීම ද, ඇතැම් විට පරුමක අභිධානය ලද්දන් වෙනත් පුද්ගලයන් හා ආවාහ විවාහ සිදුවීම ද හඳුනාගත හැකි ය. ඇතැම් විට පියා පරුමක අභිධානය ලද්දෙකු වුවත් පුතා එසේ නොවිය හැකි ය.
මෙම කරුණු කරණා අනුව පරුමක (The Chief) අභිධානය ලද පිරිස පිළිබඳ ව ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාලවකවාණුවට අයත් අභිලේඛන මූලාශ්‍ර මගින් ඉස්මතු වුවත් ඔවුන් පිළිබඳ ව සවිස්තර වාර්තාකරණයක් එහි අන්තර්ගත නොවේ. විශේෂයෙන් ම මොවුන් පිළිබඳ හමු වන අභිලේඛන මූලාශ්‍රය ලෙන් ලිපි වන අතර මහා සංඝරත්නය උදෙසා පහසුකම් සැලසීමේ අවස්ථා ඒ අතර බහුල ව හමු වේ. ප්‍රාදේශීය වශයෙන් බලාධිකරියක් ලත් කොට්ඨාසයක් ලෙස මෙම පිරිස හඳුනාගත හැකි අතර මහා සංඝරත්නය උදෙසා කළ ලෙන් පූජා කිරීම් අනුව සමාජයෙහි ධනවත් ව ඉහළ ස්ථරයක වැජඹුණු පිරිසක් බව පැහැදිලි ය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව පොදුවේ පහළ ස්ථරයට නායකත්වය සපයන ලද පිරිසක් බව අභිලේඛන මූලාශ්‍ර මගින් තහවුරු වේ. මෙම පරුමක අභිධානය ලද්දන් විවිධ තනතුරු සහ රැකියාවන්හි නිරත වී ඇති අතර ඒ මගින් ඔවුන්ගේ සමාජ තත්ත්වය සකස් වූයේ කෙසේ ද? යන්න පිළිබඳ ව තවදුරටත් විමසා බැලීම වැදගත් වේ.

07. පරුමකවරුන්ගේ ව්‍යාප්තිය


පරුමකවරුන්ගේ ව්‍යාප්තිය කාලයට සාපේක්ෂ ව ක්‍රි.පූ. තෙවන සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස දක්වා සීමා වුව ද අවකාශීය වශයෙන් එවැනි සීමාසහිත බවක් හඳුනාගත නොහැකි ය. මෙම කාලපරිච්ඡේදය තුළ මෙම පරුමක අභිධානය ලද්දන් පිහිට වූ ලෙන් ලිපි අනුව ඔවුන්ගේ බලප්‍රදේශයන් පිළිබඳ ව දළ අදහසක් ලබා ගත හැකි වේ. විශේෂයෙන් ම පරුමක අභිධානය ලද්දන්ගේ සමාජ ස්ථරායනය පිළිබඳ ව විමර්ශනය කිරීමේ දී ඔවුන් රාජ්‍යය තුළ ව්‍යප්ත ව සිටි අන්දම නිරීක්ෂණය කිරීම වැදගත් ය.
පහත දැක්වෙන ප්‍රස්තාරයට සහ සිතියමට අනුව පරුමක යන අභිධානය අන්තර්ගත වූ ශිලාලේඛන දිස්ත්‍රික්ක අනුව ව්‍යාප්ත වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ අනුව සමස්ත දිවයින මුළුල්ලේ ම පාහේ පරුමක අභිධානය දැරූවන් ව්‍යාප්ත ව සිටි බවත් අදාළ ප්‍රදේශයන්හි ඔවුන් සිය ආගමික මෙහෙවර සිදු කළ බවත් හඳුනාගත හැකිය. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පරුමකවරු පිළිබඳ සඳහන් ශිලා ලිපි බහුතරයක් හමුවීම අනුව මෙම තත්ත්වය දිවයිනෙහි ජනාවාස ව්‍යාප්තියට ද සාපේක්ෂතාවක් පෙන්නුම් කරයි. අනුරාධපුරය ආසන්න ප්‍රදේශවල ප්‍රාදේශීය ව පරුමකවරු බහුල ව වෙසෙන්නට ඇති බවට විශ්වාස කළ හැකිය.



කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද මෙවැනි ශිලා ලේඛන විශාල ප්‍රමාණයක් හමුවීම අනුව සමකාලීන වන්නි ප්‍රදේශයෙහි පරුමකවරු බහුල ව සිය කර්තව්‍යයන් ගෙන ගිය බව පැහැදිලි ය. අනුරාධපුරයට සමගාමී ව රෝහණයෙහි ප්‍රාදේශීය රාජධානියක් පැවතීම හේතුවෙන් පුරාතන රෝහණය ද දිවයිනෙහි සෙසු ප්‍රදේශයන්ට සාපේක්ෂ ව සැලකිය යුතු තරම් ජනාවාසකරණයක් පැවති බව තහවුරු කරයි. මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සෙසු දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂ ව පරුමකවරු බහුතරයක් විසූ බව හඳුනාගත හැකිය.
මේ අනුව පරුමකවරුන්ගේ ව්‍යාප්තිය පිළිබඳ ව විමසා බැලීමේ දී තත්කාලීන පාලන මධ්‍යස්ථාන අනුව ඔවුන්ගේ ව්‍යාප්තියෙහි යම්කිසි සබඳතාවයක් හඳුනාගත හැකි ය. අනුරාධපුරය, වන්නිය සහ පුරාණ රෝහණය හැරුණු විට සෙසු ප්‍රදේශයන්හි ද පරුමක අභිධානය ලද පිරිස් ජීවත් වූ බවට විශ්වාස කළ හැකි වුව ද එය සමකාලීන ජනාවාසකරණය මත පදනම් වන්නට ඇති බවට සැලකීම සාවද්‍ය නොවේ. මෙම දත්තයන් අනුව පරුමක යන අභිධානය ලද පිරිසෙහි ප්‍රමාණාත්මක බව අනුව ඔවුන් ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ ව ඉහළ ස්ථරයෙහි කටයුතු කරන්නට ඇති බව පසක් වේ.

08. පරුමක අභිධානය ලද්දන් උසුලන ලද තනතුරු සහ නියුක්ත වූ රැකියාවන්


මෙතෙක් සාකච්ඡා කරන ලද කරුණු අනුව පරුමකවරු යනු සමාජයෙහි කවර තරාතිරමක පිරිසක්දැයි යම් අදහසක් ගත හැකි ය. මොවුන් පරුමක අභිධානය ලැබීම අනුව සමාජ ස්ථරායනයෙහි ප්‍රාදේශීය ඉහළ මට්ටමක් නියෝජනය කළ ද පවතින මූලාශ්‍ර අනුව ඔවුන් එම ස්ථරය අභිභවා යෑමක් ද හඳුනාගත හැකි ය. පෙර සඳහන් කළ පරිදි පරුමකවරුන්ගේ ආගමික ප්‍රදානයන් ඉස්මතු කෙරෙන ලෙන් ලිපි, තොරතුරු අතින් පොහොසත් මූලාශ්‍රයක් නොවුණ ද ඔවුන් දරන ලද නිල තනතුරු සහ නියුක්ත වූ රැකිරක්ෂා අනුව පරුමකවරුන්ගේ සමාජීය පසුබිම පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි වේ.
මෙහි දී පරුමක යන අභිධානය ලද පිරිස අතුරින් සමහරෙක් ඍජු ව ම රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ බව තහවුරු කළ හැකි අභිලේඛන හමුවේ. ඒ අතර අමාත්‍යධුරය මත ඍජු ව රජු හා සබඳතා පැවැත්වූ පරුමකවරු පිළිබඳ ව හඳුනාගත හැකිය. අනුරාධපුර හුරුළු පළාතේ බ්‍රාහ්මණයාගමින් හමුවන,
The cave of the chief “Sagaya”, the minister
(IC, vol I, 1970; 13P, 161)
ලෙන් ලිපියේ පරුමක අභිධානය ලද “සගය” නම් අමාත්‍යවරයා පිළිබඳ ව සඳහන් වේ. කුරුණෑගල වන්නි හත්පත්තුවේ කදුරුවැව ඇති ලෙන් ලිපියක නැවතත් අමාත්‍ය ධුරයක් දරන ලද පරුමකවරයෙකු පිළිබඳ සඳහන් වේ. එනම්,
Hail! The cave of “Gopa”, the grandson of the chief “Vahidi”, the minister, and eldest son of “Hãmika”, the chamberlain and dealer in coined money, is dedicated to the sangha
  (IC, vol I, 1970: 97P, 1205)
මෙහි පරිත්‍යාගය කරනු ලබන්නේ “ගෝප” නම් පුද්ගලයෙකු වන අතර අමාත්‍ය පරුමක     “වහිදි” ගෝපගේ මුත්තණුවන් වේ. මෙවැනි ප්‍රදානයන් සටහන් කිරීමේ දී තම පරපුරේ ඉහළ සමාජ ස්ථරය නියෝජනය කළ පුද්ගලයන් පිළිබඳ ව විශේෂයෙන් දක්වමින් ඔවුන්ගේ ඥාතීත්වය පෙන්වීම වැදගත් කොට සලකන ලද බව පැහැදිලි ය.
රාජ්‍ය පාලනයේ දී වැදගත් තනතුරක් වන භාණ්ඩාගාරික තනතුර හොබවන ලද පරුමකවරු කිහිපදෙනෙකු පිළිබඳ ව හඳුනාගත හැකි ය.
The cave of the chief “Sena” the treasurer, son of the chief “Sena” [is given] to the sangha
    (IC, vol I, 1970: 5P, 59)
අනුරාධපුර මිහින්තලේ රජගිරි කන්දෙන් හමුවන මෙම ලිපියෙන් භාණ්ඩාගාරික ධුරය දරන ලද පරුමක සේන නමැති නිලධාරියෙකු පිළිබඳ ව සඳහන් වේ. මිහින්තලයෙන් හමු වූ තවත් ලෙන් ලිපියක භාණ්ඩාගාරික ධුරය දැරූ පරුමක තිස්ස (IC, vol I, 1970: 1P, 3) ද, පොළොන්නරුව තමන්කඩුව කන්දකාඩු ප්‍රදේශයෙන් හමු වූ ලෙන් ලිපියක භාණ්ඩාගාරික පරුමක මිත්ත පිළිබඳ ව ද (IC, vol I, 1970: P, 296) සඳහන් වේ. එසේ ම රජුගේ ආදායම් නිලධාරියා වශයෙන් කටයුතු කළ පරුමක අභිධාන ලද්දන් පළිබඳ ව ද සාක්ෂි හමුවේ. එයට නිදසුනක් ලෙස හම්බන්තොට තිස්සමහාරාමයෙන් හමු වූ,
The pound of the chief “Phussadeva”, the revenue officer of the great king
    (IC, vol I, 1970: 53P, 703)
ලිපිය දැක්විය හැකි ය. මෙහි දී මහ රජුගේ ආදායම් එකතු කරන්නා නැතහොත් බදු රැස්කරන නිලධාරියා වූ අයක තනතුර දරන ලද්දේ පරුමක අභිධානය ලත් ඵුස්සදේව විසින් බව පෙන්වා දිය හැකි ය.
පරුමකවරු රජුට සමීප නිල තනතුරක් වන සේනාධිපති ධුරයන් දැරූ බවට ද ලෙන් ලිපි සාක්ෂි දරයි. මොනරාගල වැල්එලලුගොඩකන්දෙන් හමු වූ ලෙන් ලිපියක මෙසේ දැක්වේ.
The great cave of the Nun “Nãgã” daughter of the chief “Phussadeva” the commander - in - chief, [is given] to the sangha
   (IC, vol I, 1970: 55P, 725)
 මෙහි දී සේනාධිපති ඵුස්සදේව ද පරුමක ධුරය දැරූවෙකු බව පසක් වේ. මොනරාගල වැල්එලලූගොඩකන්දෙන් හමු වූ තවත් ලෙන් ලිපියක සේනාපති පරුමක අගිදත්ත (IC, vol I, 1970: 55P, 724) උක්ත නාගා භික්ෂුණියගේ ගිහි කල ස්වාමිපුරුෂා වූ බව සඳහන් කරයි. හම්බන්තොට ගෝනගලින් හමු වූ ලිපියක ද සේනාපති පරුමක අභය (IC, vol I, 1970: 50P, 665) නමැත්තෙකු පිළිබඳ සඳහන් වේ.
මෙම අමාත්‍ය, භාණ්ඩාගාරික සහ සේනාපති තනතුරු ඍජු ව ම මධ්‍ය පාලනයට සම්බන්ධ නිල තනතුරු බව අවිවාදයෙන් පිළිගත හැකි අතර මොවුන් පරුමක අභිධානය ලද ස්ථරයේ ද ඉහළින් ම වැජඹුණු බව ප්‍රත්‍යක්ෂ වේ. රාජ්‍ය පාලනයේ දී වැදගත් තවත් තනතුරු කිහිපයක් පිළිබඳ ව අභිලේඛන මගින් තොරතුරු අනාවරණය කරගත හැකි ය. එනම්, අදෙක නැතහොත් කටයුතු මෙහෙයවන්නා හෝ අධිකාරි (රණවැල්ල, 2004: 9), බතකරක නැතහොත් බත් පිසින්නා, අරක්කැමියා (රණවැල්ල, 2004: 218) ලෙස හඳුන්වන රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධානියා, නවිකහ නැතහොත් නාවික නිලධාරී, රජුගේ ගබඩා ගෙයි ප්‍රධානියා, වාර්තා භාරකරු ආදිය යි. මෙම තනතුරු දරන ලද පරුමකයන් ද සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කළ බව හඳුනාගත හැකිය. ඔවුන් පිළිබඳ ව මෙසේ සමාලෝචනය කළ හැකි ය.

(1 වගුව: රජවාසල හා සම්බන්ධ නිලතනතුරු දැරූ පරුමකවරු)


මෙයට අමතර ව නගරගුත්තික නැතහොත් නගරාධිපති ධුරය දරන ලද පරුමක අභිධානය ලද්දෙකු පිළිබඳ ව සඳහන් ලෙන් ලිපියක් අනුරාධපුර කලාගම් පළාතේ මහඅලගමුවෙන් හමුවේ. එනම්,
The cave of the chief “Datta” the burgomaster, [is given] to the sangha
                             (IC, vol I, 1970: 18 P, 230)
යන්නයි. නගරයක ප්‍රධානියා නැතහොත් නගරාධිපති යනු ප්‍රාදේශීය පරිපාලනයෙහි ප්‍රධානියෙකු වන අතර සමාජ ස්ථරායනය අතින් ඉහල ස්ථරායනය නියෝජනය කරනු ලබන පුද්ගලයෙකි. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙන පරිදි ගමිකයන් සමූහයකට ප්‍රධානියෙකු වූ පරුමක අභිධානය ලද්දන් ඉන් ඔබ්බට ගිය නගරාධිපති ධුරය දක්වා සමාජයෙහි ඉහළින් වැජඹීම අනුව පරුමක අභිධානය ඉහළ නිලතනතුරු සඳහා මංපෙත් විවර කරන අභිධානයක් බවට ද විශ්වාස කළ හැකි ය.
විජය කුමරු ඇතුළු සත්සියක් පිරිස තම්බපණ්ණියට අහඹු ලෙස සේන්දු වුව ද එතැන් පටන් සිදු වූ ආර්ය සංක්‍රමණ දෙස විමසා බැලීමේ දී විධිමත් නාවික සබඳතා ජාත්‍යන්තර වශයෙන් පැවති බව අවිවාදයෙන් පිළිගත හැකි ය. මෙවැනි නාවික කටයුතු භාර විය යුත්තේ, වගකිව යුතු සමාජයේ ඉහළ පිරිසකට ය. ඒ අනුව නාවික කටයුතු හා සම්බන්ධ පරුමක අභිධාන ලද්දන් පිළිබඳ ව ද අභිලේඛන මූලාශ්‍ර මගින් තොරතුරු අනාවරණය වේ. කුරුණෑගල මාළිගාතැන්නෙන් හමුවන ලෙන් ලිපියක නැව් යාත්‍රා කරවන පරුමක මහා-අසෝක නම් පුද්ගලයෙකුගේ ලෙන් පරිත්‍යාගයක් පිළිබඳ ව සඳහන් වේ (IC, vol I, 1970: 76 P, 977a). මහනුවර උඩපළාතේ බගවාලෙන නම් ස්ථානයෙන් හමුවන ලෙන් ලිපියක භාරුකච්චයට යාත්‍රා කළ නාවික පරුමක “මාල”ගේ ලෙන් පරිත්‍යාගයක් පිළිබඳ ව දැක්වේ (IC, vol I, 1970: 95P, 1183). මෙහි දී “මාල” නාවිකයෙකු වශයෙන් භාරුකච්චය සහ ලක්දිව අතර නාවික කටයුතු සිදු කළ බව පැහැදිලි ය.
අම්පාර පානම්පත්තුවේ බඬරගස්තලාවෙන් හමුවන ලෙන් ලිපියක වෙළෙන්දෙකු පිළිබඳ ව සඳහන් වේ.
The cave of the chief “Tissa”, the merchant, [is given] to the sangha
                             (IC, vol I, 1970: 40 P, 515)
මෙහි දී තිස්ස නම් පරුමක අභිධානය ලද්දෙකු විසින් වෙළඳ කටයුතු කළ බව දැක්වේ. පෞද්ගලික ආරාම පූජාවක් අනුව ඔහු වෙළඳාමෙන් සාර්ථකත්වයට පත් වූ සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කළ පරුමකයකු විිය හැකි ය.
එසේ ම ගම්, නගර, වැව් සහ තොටුපළ හිමිකර්වන් ලෙස ද පරුමක අභිධාන ලද්දන් කටයුතු කළ බව තහවුරු කෙරෙන ලෙන් ලිපි හමුවේ. එම තොරතුරු මෙසේ සමාලෝචනය කළ හැකිය.

 (2 වගුව: පරුමකවරුන්ගේ පෞද්ගලික හිමිකාරත්වයන්)

නගර හා ග්‍රාමයන් ගත්විට එය පෞද්ගලික ව යමෙකුට හිමිවන විට එහි ජීවත් වන සෑම තරාතිරමක පුද්ගලයෙකුට ම වඩා එහි හිමිකරු උච්චස්ථානයට පත්වන්නේ ය. තොටුපළ සහ වැව් පරුමක අභිධාන ලද්දන් හට උරුම වීම අනුව ඔවුන් එය භාවිතා කරන පුද්ගලයන් මත ජීවනෝපාය සකස් කරගත්තා විය යුතු අතර, එනිසා ම සමාජයෙහි ධනවත් පිරිසක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. නක්ෂත්‍රය යනු අතීත සමාජයෙහි ගැඹුරු විෂයක් වූ අතර එය ප්‍රගුණ කළ පිරිස අවිවාදයෙන් ම නැණවතුන් විය. එවැනි පරුමක අභිධානය ලත් දෛවඥයෙකු පිළිබඳ ව ලෙන් ලිපියක් කුරුණෑගල පෙරියකඩු විහාරයෙන් හමුවේ. එහි පරුමක තිස්ස නම් නක්ෂත්‍රාචාරයවරයෙකු පිළිබඳ ව සඳහන් වේ (IC, vol I, 1970: 73 P, 941). ඒ අනුව පරුමක අභිධානය ලද්දන් අතර ද ස්ථර කිහිපයක් පවතින්නට ඇති බව මෙම තනතුරු සහ රැකියා පිලිබඳ ව අවධානය යොමු කිරීමේ දී  මනාව පැහැදිලි වන කරුණකි.

09. පරුමකවරුන්ගේ සමාජ ස්ථරායනය


පරුමකවරුන්ගේ සමාජ ස්ථරායනය පිළිබඳ ව විමසා බැලීමේ දී ඓතිහාසික යුගයෙහි දේශපාලනික ස්ථරායනය කෙරෙහි මූලික අවධානයක් යොමු කිරීම වැදගත් වේ. රාජ්‍යයේ මධ්‍ය පාලනය විමසා බලන කල්හි රජු හෝ උප රජුට පසු රජයේ උසස් තනතුරු හොබවන ප්‍රභූ කණ්ඩායමක් හඳුනාගත හැකි ය. අනතුරුව සමාජයේ ඉහළ ස්ථරයක් නියෝජනය කරන රජ වාසල හා සම්බන්ධ තනතුරු දැරූ ප්‍රභූ පිරිසක් වූ බව වාර්තා වේ. ඒ අනුව ඓතිහාසික යුගයෙහි පරිපාලනයට සම්බන්ධ වූවන් මෙසේ ස්ථරගත කළ හැකිය.


මෙහි දී පොදුවේ ගත් කල පරුමක අභිධාන ලද්දන් නියෝජනය කරනු ලබන්නේ, පහළ ම ස්ථරය යි. එනම්, ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ වූවන් ලෙසිනි. නමුත් මින් ඉහත විමර්ශනයට ලක් වූ පරුමක අභිධාන ලද්දන් දරන ලද සුවිශේෂී නිල තනතුරු අනුව අතරමැද ස්ථර සතරම නියෝජනය වන බව පැහැදිලි ය.
මේ අනුව පරුමකවරු අමාත්‍ය, බඩගරික, සේනාපති ආදී රජයෙහි ඉහළ තනතුරු සඳහා යොමු වූයේ, ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් වශයෙන් සමාජයෙහි ඉහළ ස්ථරය නියෝජනය කළ නිසා බව කිව හැකි ය. ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාල පරිච්ඡේදයේ දී පරුමකවරු දේශපාලන ස්ථරායනයෙහි පහළ ම ස්ථරය නියෝජනය කළ ද ඒ අතරින් සමහරෙක් ඉහළ තනතුරු සඳහා පත්වීම විශේෂත්වයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් සමාජ ස්ථරායනය තුළ ඔවුන් හිමිකරගත් ප්‍රබලතාවය හේතු වන්නට ඇත.
ප්‍රාදේශීය වශයෙන් පරුමකවරු සමාජ ස්ථරායනයෙහි ඉහළ කොටස නියෝජනය කළ බව මෙසේ දැක්විය හැකිය.


මේ අනුව පරුමක අභිධානය ලද්දන් සමාජයෙහි ප්‍රභූ පිරිස නියෝජනය කළ බව පසක් වේ. මොවුන් පිළිබඳ ව හමු වන ශිලාලේඛන පුළුල් ව විමර්ශනය කිරීමේ දී පරුමකවරු යනු ධනයෙන්, බලයෙන් හා කුලයෙන් ආඪ්‍ය වූ සමාජීය වශයෙන් ඉහළ ම ස්ථරය නියෝජනය කරන පිරිස බව තහවුරු වේ. ධනයෙන්, බලයෙන් හා කුලයෙන් ආඩ්‍ය වූ නිසා ම ප්‍රාදේශීය පරිපාලනය ඔවුන් වෙත කේන්ද්‍රගත වූවා සේ ම රාජ්‍ය පාලනයේ දී ද ඉහළ නිල තනතුරු සඳහා දොරටු විවර වීමට, ඔවුන් වැජඹුණු ඉහළ සමාජ තලය වාරුවක් වූ බව ප්‍රත්‍යක්ෂ වේ.

සමාලෝචනය


ක්‍රි.පූ. තෙවන සියවසත් ක්‍රි.ව. පළමුවන සියවසත් අතර කාලපරිච්ඡේදයේ සටහන් වූ ශිලා ලේඛන අනුව ඉස්මතු වන පරුමක අභිධානය වංශවත් කුලීනයන් හට හිමි වූ වරප්‍රසාදයක් යැයි අදහස් කළ හැකි ය. මූලාශ්‍රගත තොරතුරු අනුව මොවුන් ප්‍රාදේශීය පරිපාලන කාර්යයෙහි ඉහළ ම ස්ථරය වූ අතර සාමාන්‍ය ජනයා වෙතින් බොහෝ දුරස් බවක් පෙන්නුම් කරයි. සමකාලීන සමාජයෙහි ප්‍රභූවරු ලෙස ජීවත් වූ මොවුන් බෞද්ධ භික්ෂූන්ගේ පහසුව තකා කරන ලද පෞද්ගලික පූජාවන් නිසා ම සමාජයෙහි කැපී පෙනෙන පිරිසක් බවට පත් වී ඇත. පරුමකවරු පිළිබඳ ව අභිලේඛනවලින් පරිබාහිර ව වෙනත් මූලාශ්‍රයන්හි අන්තර්ගත නොවීම තුළ තත්කාලීන ව ඔවුන් ලාංකේය සමාජයෙහි කවර තරාතිරමක් නියෝජනය කළේ ද යන්න තොරතුරු අනාවරණය වන්නේ, ඔවුන්ගේ ආගමික මෙහෙවර නිසා ම වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව පරුමක අභිධානය හිමි වූ අතර එමගින් සමකාලීන සමාජයෙහි කාන්තාවන් ද ප්‍රභූවරියන් වශයෙන් ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ වූ බව තහවුරු වේ. ප්‍රාදේශීය වශයෙන් සමාජ ස්ථරායනයේ ඉහළින් ම වැජඹීම නිසා අමාත්‍ය, සේනාපති, භාණ්ඩාගාරික ආදී රජයෙහි ඉහළ තනතුරු සඳහා වරම් ලැබුණු බවට විශ්වාස කළ හැකි අතර එවැනි තනතුරු ලද පසු ව ද ඔවුන් පරුමකයින් ලෙස හඳුන්වා දීමට රුචිකත්වයක් දක්වන ලද බව ඔවුන් විසින් ම කරවන ලද ලෙන් ලිපිවලින් තහවුරු වේ. ඇතැම් විට මොවුන් මුල්කාලීන ව ප්‍රාදේශීය පරිපාලනයට සම්බන්ධ ව සිට ක්‍රමික ව රජයෙහි ඉහළ තනතුරු ලැබූවන් විය හැකි ය. පරුමකවරුන්ගේ උසස් සමාජ තත්ත්වය නිසා ම රජුට සමීප සෙසු තනතුරු ද මොවුන්ට හිමිවන්නට ඇති බවට විශ්වාස කළ හැකි ය. මොවුන් පිළිබඳ සඳහන් ශිලාලේඛන විමර්ශනය කිරීමේ දී පරුමක යන අභිධානය පාරම්පරික ව හිමිනොවූ අතර ඔවුන් පාලක පන්තිය සමග ආවාහ විවාහ සිදුකිරීම අනුව සමාජ ස්ථරායනයෙහි ඉහළ නියෝජනයක් කළ බව පැහැදිලි ය. ඉහළ සමාජ පසුබිම නිසා ම ඔවුන් ඉහළ නිල තනතුරු හෙබවුව ද පොදුවේ පරුමකවරු යනු ප්‍රාදේශීය පරිපාලනයේ දී ප්‍රමුඛ වූ ධනයෙන්, බලයෙන් සහ කුලයෙන් ආඪ්‍ය වූ සමාජයීය වශයෙන් සෙස්සන් අභභවා ගිය පිරිසක් බව ගම්‍ය වේ.



ආශ්‍රිත ග්‍රන්ථ      


Epigraphia Zeylanica, Vol. I (1912). Edited and translated by D. M. De Z. Wickramasinghe, London: Oxford University Press.

Epigraphia Zeylanica, Vol. II (1928). Edited and translated by D. M. De Z. Wickramasinghe, London: Oxford University Press.

Epigraphia Zeylanica, Vol. III (1933). Edited and translated by D. M. De Z. Wickramasinghe, London: Oxford University Press.

Paranavitana, S. (1970). Inscriptions of Ceylon, Vol. I, Colombo: Department of Archaeology.
Paranavitana, S. (1983). Inscriptions of Ceylon, Vol. II, Part 1, Colombo: Department of Archaeology.

Hettiarachchy, T. (1972). History of kingship in Ceylon: Up to the fourth century A.D., Colombo: Lake House Investments Limited book publishers.

Paranavithana, Senarath (1936). “Two royal titles of the early     Sinhalese and the origine of kingship in ancient Ceylon”, Journal of the Royal Asiatic Society (Great Britain and Ireland).
Perera, L. S. (2001). The institutions of ancient Ceylon from inscriptions, Vol. I, Kandy: The international center for ethic studies.

Somadeva, R. (2006). Urban Origins in Southern Sri Lanka, Uppsala: Uppsala University.

සේනානායක, පියතිස්ස (2002). “ශ්‍රී ලංකාවේ පැරණිම ලේඛන සහ ඒවායේ ආරම්භය”, ඉඳුවර, වරකාපොළ: ආරිය ප්‍රකාශකයෝ.

රණවැල්ල, එස්. (2004). සිංහල සෙල් ලිපි වදන් අකාරාදිය, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

වික්‍රමසිංහ, එස්. (2007). සිංහල ලේඛන කලාව, කොළඹ: ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව.

Sunday, May 6, 2018

Large Scale Development Projects and Archaeological Heritage Management


මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ පුරාවිද්‍යා උරුමය කළමනාකරණය


සාරාංශය


ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පුරාවිද්‍යා උරුමය විනාශයට ලක් වූ අවස්ථා ගණනාවක් ම පසුගිය සමයන්හි දී හඳුනාගත හැකි විය. විශේෂයෙන් ම ජලාශ ඉදිකිරීම සඳහා විශාල භූමි ප්‍රමාණයක් යොදා ගැනීම මගින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති පරිශ්‍ර ගණනාවක් විනාශ වී ඇති අන්දම 2013 අග භාගයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැකිරිඕබඩ හා මුරුතවෙල ජලාශ ආශ්‍රිත ව සිදු කරන ලද පුරාවිද්‍යා ක්ෂේත්‍ර ගවේෂණයක දී හදුනාගත හැකි විය. මෙම ගවේෂණයේ දී මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පහත බසින අවස්ථාවල, ජලාශයට යට වූ යබොර කොටස් සහ යකඩ උදුන් පිහිටි බව පෙන්නුම් කරන ස්ථාන පවා අධ්‍යයනය කිරීමට හැකි විය. එමෙන්ම විසිරී ගිය වළං කටු පරිශ්‍ර ද අවධානයට ලක් විය.  රෝහණ රාජධානියේ ජනාවාස ව්‍යාප්තව පැවති රම්මලය කන්ද පාමුල පිහිටි මෙම ජලාශවලට යටවී ඇති යකඩ නිස්සාරණ භූමි අතීත රෝහණයේ ජීවත් වූ සාමාන්‍ය ජනතාව නියෝජනය කළ සුවිශේෂි ලෝහ කාර්මිකයන්ගේ ජනාවාස බව පැහැදිළි ව පෙනී යයි. සංවර්ධන ව්‍යාපෘති හමුවේ විනාශ වී යන මෙම පුරා පරිශ්‍ර සමඟ මෙම ප්‍රදේශයේ පැවති අතීත ජනාවාස, තාක්ෂණ ශිල්ප පිළිබද සාධක විධිමත් අධ්‍යනයකට ලක් නොවීමෙන් වියැකීයාමේ අවධානමක් මතු වී ඇත. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කළ යුතු අතර එහි දී පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා සැලකිල්ලට ගැනීම වැදගත් වේ. පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත පුරාවස්තු හෝ පුරා ස්මාරක පරිශ්‍ර පිළිබද වැඩි අවධානයක් යොමු කරන පුරාවිද්‍යාඥයන් ක්ෂුද්‍ර මට්ටමේ පුරා ක්ෂේත්‍ර කෙරෙහි යොමු කරන අවධානය සීමිත බව ඉහත අධ්‍යයනයේ දී හදුනාගත හැකි විය. 

1. හැඳින්වීම


ශ්‍රී ලංකාවේ නූතන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක අතුරින් හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත ව ක්‍රියාත්මක වූ මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍ෂේත්‍ර ගණනාවක විහිදී පවත්නා අතර, මහාපරිමාණ වාරි සංවර්ධන යෝජනා ක්‍රම එහි දී සුවිශේෂී වේ. නිදහසින් පසු යුගයේ මහාපරිමාණ සංවර්ධන ක්‍රම මෙ රට සමාජ නවීකරණයට ප්‍රබල ව බලපා ඇති අතර එකී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමෙන් පසු ව විවිධ ගැටලු ද සමාජ දේහය පුරා ව්‍යාප්ත ව ඇති අන්දම නූතනයේ දැකිය හැකි ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්මලේ කඳු පන්තියෙන් ගලා එන ජල ධාරාවන්ගෙන් පෝෂණය වන කිරම ඔය නිම්නය දකුණු පළාතේ සුවිශේෂී ජල පෝෂක ප්‍රදේශයක් වන අතර, කිරම ඔය නිම්නයේ ස්වභාවික ජල ධාරාවන් ආශ්‍රිත ව පසුගිය රජයෙන් මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති ආකාරය මෙම ප්‍රදේශ අධ්‍යයනයෙන් හඳුනාගත හැකි විය. නිදහසින් පසු ක්‍රියාත්මක කරන ලද මුරුතවෙල ජලාශ ව්‍යාපෘතිය හා කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය මෙහි ලා ප්‍රමුඛ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙකකි. මනරම් ශේෂ කඳුවැටි ආශ්‍රිත ව ඉදි කර ඇති මෙම ජලාශ දෙක ම හම්බන්තොට පහත් ප්‍රදේශවලට ජලය සම්පාදනය කරනු ලබයි. මෙම ව්‍යාපෘති දෙක සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් භාවිත කර ඇති අතර ස්වභාවික කඳු නිම්න ඇතුළත් විශාල භූමි ප්‍රමාණයක් එහි දී ජලයෙන් යට වී ඇත. මෙම ව්‍යාපෘති සිදු කිරීමේ දී පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා (Archaeology Impact Assessment)  කෙරෙහි සැලකිළිමත් වූයේ ද යන්න සැක සහිත බව ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී ප්‍රශ්නගත විය. මෙම සංවර්ධන යෝජනා ක්‍රම සඳහා යොදාගත් භූමිභාගවල විසිරී ඇති පැරණි රෝහණයේ යකඩ කර්මාන්තයට අයත් වැදගත් පුරා පරිශ්‍ර හා ජනාවාස පැවති බවට සාක්‍ෂි පෙන්නුම් කරන පුරා ක්‍ෂේත්‍ර ගණනාවක් මෙම ව්‍යාපෘති මගින් විනාශයට පත් වෙමින් පවතින බව පැහැදිළි ව නිරීක්‍ෂණය කළ හැකි විය. රෝහණ රාජ්‍යයේ රම්මලය කඳුවැටිය ආශ්‍රිත අතීත යකඩ කර්මාන්තය හා ජනාවාස රටාව පිළිබඳ ව දැකිය හැකි වැදගත් පුරාවිද්‍යා සාක්‍ෂි විනාශ වීම නිසා ප්‍රදේශයේ ඓතිහාසිකත්වය පිළිබඳ අනාගත පර්යේෂණවලට දැඩි බලපෑමක් සිදු වී ඇත. දිවයිනේ නිර්ප්‍රභූ ජන ඉතිහාසය ගොඩනැංවීමට අදාළ වැදගත් පුරාවිද්‍යා සාක්‍ෂි මෙ ලෙස විනාශ වෙමින් පැවතීම අභාග්‍යසම්පන්න අතර මෙ වැනි සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ප්‍රදේශයේ පවත්නා පුරාවිද්‍යාත්මක අවශේෂ පිළිබඳ සැලකිළිමත් වීමේ අවශ්‍යතාවය අප පර්යේෂණයේ ප්‍රතිඵල මගින් ඉස්මතු විය.

2. අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ව්‍යාප්තිය හා ඓතිහාසික පසුබිම


පෞරාණික රෝහණ රාජ්‍යයට අයත් වැදගත් භූමි ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හැඳින්විය හැකි ය. මෙම අධ්‍යයනයේ දී අපගේ විශේෂ අවධානය යොමුවන රන්මලේ කඳුවැටිය අතීතයේ දී “හිරඤ්ඤමලය” ලෙස හඳුන්වා ඇති අතර පළමුවන විජයබාහු රජු රන්මලේ කඳුවැටියේ රෙමුණ පර්වතයේ බලකොටු බැඳ රෝහණයේ යුධ බලය වර්ධනය කරගෙන ඇත (පරණවිතාන, 1972: 401). 




රන්මලය කඳුවැටිය දිවයිනේ දකුණු ප්‍රදේශයේ දැකිය හැකි ප්‍රධානතම ආරක්‍ෂිත කඳුවැටියක් වන අතර, එය උතුරු දෙසින් මධ්‍යම කඳුකරය කරා විහිදෙන කඳු පන්ති හා සම්බන්ධ වී ඇත. රන්මලේ කඳුවැටියේ ඇති දැඩි වනගහනය හා ඉහළ ජල පෝෂක උල්පත් පිහිටීම නිසා නිර්මාණය වී ඇති කුඩා දිය දහරාවන් දකුණු පළාතේ ගංගා ජලයට ක්‍රමයෙන් මුසු වේ. ඒ අතුරින් කිරම ඔය නිම්නයට හිමි වන්නේ විශේෂ වැදගත්කමකි. අප අධ්‍යයන ක්‍ෂේත්‍රයට අයත් ප්‍රදේශයේ නිදහසින් පසු මෙ රට රජයන් බිහි කළ මහා පරිමාණ ජලාශ සංවර්ධන යෝජනා ක්‍රම දෙකක් දැකිය හැකි ය. 
  1. කිරම ඔයේ අතු ගංගාවන් මුල්කර ගනිමින් ආරම්භ කළ මුරුතවෙල ජලාශය.
  2. කිරම ඔයේ, කැකිරි ඔය අතු ශාඛාව මුල්කර ගනිමින් ආරම්භ කළ කැකිරිඕබඩ ජලාශය.

මෙම සංවර්ධන යෝජනා ක්‍රම දෙකෙන් ම හම්බන්තොට ප්‍රදේශයට ජලය සම්පාදනය කරන අතර විශාල ඉඩම් ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන ඇත. මෙම අධ්‍යයන ක්‍ෂේත්‍රයට අයත් ප්‍රදේශ පිළිබඳ ව ලිඛිත ඉතිහාසගත සාක්‍ෂි ඉතා අල්ප අතර පවතින පුරාවිද්‍යාත්මක අවශේෂ ද අවම මට්ටමක පවතී. පළමුවන විජයබාහු රජුගේ කාලයේ රුහුණේ දණ්ඩනායක ධූරය දැරූ සිප්නරුබිම්හි බුදල්නාවෝ රෝහණයේ රන්මලේ කඳුවැටියේ බටහිර බෑවුමේ දිවි ගෙවූ බව පනාකඩුව තඹ සන්නසින් පැහැදිළි වේ (EZ.Vol. v. pp 24-25). අධ්‍යයන ක්‍ෂේත්‍රයන්ට ආසන්නතම පුරා පරිශ්‍රය වන සිත්තම් ගල්ලෙන් විහාරය අනුරාධපුර යුගයට අයත් බවට විශ්වාසයක් පවතින අතර, විහාරස්ථානයේ ඉහළ ගල් ලෙන්වල මහනුවර යුගයේ සිතුවම් දැකිය හැකි ය (පියසිරි හිමි, සම්මුඛ සාකච්ඡාව, 2014). කිරම ඔය නිම්නය පිළිබඳ ව සිදුකරන ලද පූර්ව පර්යේෂණවල දී ප්‍රදේශය පුරාම යකඩ නිෂ්පාදනය පිළිබඳ අවශේෂ ව්‍යාප්ත ව ඇති බව හඳුනාගෙන ඇත (බණ්ඩාර, 2013: 17, ප්‍රසන්න, 2013: 417). මෙම අධ්‍යයනයට පාදක වූ කිරම ඔය මධ්‍ය නිම්න ප්‍රදේශයට අයත් ප්‍රදේශ පිළිබඳ ව ලිඛිත ඉතිහාසගත සාක්‍ෂි නොමැති හෙයින් පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන දත්ත, ප්‍රදේශයේ අතීතය ප්‍රතිනිර්මාණය සඳහා වැදගත් වේ. අධ්‍යයන ක්‍ෂේත්‍රය වටා පිහිටි කිරම, වරාපිටිය, අඹගහහේන, අතපත්තු කන්ද, රාජපුරගොඩ, ගොරකගහවත්ත, කුරුඳුවත්ත, පිටදෙණිය වැනි ප්‍රදේශ පුරා පැරණි යකඩ තාක්‍ෂණය පිළිබඳ ද්‍රව්‍යාත්මක අවශේෂ හමුවීම මගින් මෙම ප්‍රදේශවල රෝහණයේ පැරණි ජනාවාස හා බැඳුණු ආර්ථික ක්‍රියාවලියක් පැවති බව තහවුරු වේ (බණ්ඩාර, 2013: 17). අප අධ්‍යයන ක්‍ෂේත්‍ර දෙකෙහි මහා පරිමාණ වාරි යෝජනාක්‍රමවලට යට වූ භූමිභාගවල ද පැරණි යකඩ කර්මාන්තයට අදාළ සාක්‍ෂි හා ජනාවාස පැවති බවට සාක්‍ෂි හමු වේ (ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014). සශ්‍රීක ජලධාරාවන් උපයෝගී කරගනිමින් නිර්මාණය කළ මෙම ජලාශ ව්‍යාපෘති මගින් විනාශ වී යන පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ මීලඟට අපගේ අවධානය යොමු වේ.




3. හම්බන්තොට මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මූලික ගවේෂණය


ශ්‍රී ලංකාවේ නූතන සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් කේන්ද්‍රගත වූ ප්‍රදේශයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල භූමි ප්‍රමාණයක් වියළි කලාපයට අයත් වේ. මෙම කලාපයේ ම කඳුකර තෙත් කලාපීය දේශගුණික ලක්‍ෂණවලින් යුක්ත කිරම ඔය නිම්නය ආශ්‍රිත ඉහළ ජලධාරා සහිත භූමිය කෙරෙහි මෙයට වර්ෂ ගණනාවකට පෙර සිට ම අවධානය යොමු ව ඇත. ලන්දේසි පාලන සමයේ දී ඌරුබොකු ඔය හරහා ඉදිකළ වේල්ලක් මගින් ප්‍රදේශය අස්වද්දා ඇත (ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, 1972). හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියළි ප්‍රදේශ කරා ජලය රැගෙන යාම සඳහා නිදහසින් පසු රජයන් අවධානය යොමු කරවන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙකක් ලෙස කැකිරිඕබඩ සහ මුරුතවෙල ජලාශ ව්‍යාපෘති හඳුන්වා දිය හැකි ය. මෙම ජලාශ ඉදි කිරීමේ දී එයට යට වූ භූමි ප්‍රදේශ හා හාත්පස ප්‍රදේශ පිළිබඳ 2013, 2014 වර්ෂවල දී අපගේ අවධානය යොමු විය. 2014 ජනවාරි මස සිදු කරන ලද මූලික ගවේෂණය ආශ්‍රිත ව සොයාගන්නා ලද ක්‍ෂේත්‍ර දත්ත මෙම වියමන ඔස්සේ සාකච්ඡාවට බඳුන් වේ.

3.1 අධ්‍යයන ගැටලුව


මෙම අධ්‍යයනයේ දී “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වාරි ව්‍යාපෘති මගින් පුරාවිද්‍යා උරුමයන්ට සිදු ව ඇති බලපෑම කුමක් ද?” යන අධ්‍යයන ගැටලුව අපගේ අවධානයට ලක් වේ. විශේෂයෙන් ම මුරුතවෙල හා කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘති ඉදි කිරීමට භාවිත කළ භූමියේ පැවති පුරාවස්තු හා ද්‍රව්‍යාත්මක අවශේෂ මොනවාද? ඒවාට සිදු ව ඇති බලපෑම කුමක් ද? යන්න අපගේ අවධානයට ලක් විය. ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරු අනුව අදාළ භූමිවල විසිරී ඇති පුරාවස්තු කෙරෙහි මෙහි දී අපගේ අවධානය යොමු විය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී මෙ රට පුරාවිද්‍යා නිලධාරීන් සුළු පරිමාණ සංස්කෘතික සාධක හා නිර්ප්‍රභූ පුරාවස්තු පිළිබඳ ව දක්වා ඇති සැලකිළිමත් භාවය මෙහි දී ප්‍රශ්නගත විය. මෙම අධ්‍යයන ගැටලුව විසඳීමේ දී අදාළ පුරා පරිශ්‍රවල දක්නට ලැබෙන පුරාවස්තු මොනවා ද? එකී පුරාවස්තු වර්ගීකරණය හා ආසන්න කාලාවලියක් සකස් කරන්නේ කෙසේ ද? සංවර්ධන ව්‍යාපෘති මගින් සිදු ව ඇති බලපෑම කුමක් ද? ආදී පර්යේෂණ ප්‍රශ්න කෙරෙහි මෙහි දී විමසිලිමත් වීමට සිදු විය. 

3.2 අධ්‍යයන අරමුණු හා වැදගත්කම


මෙම අධ්‍යයනය මගින් අපේක්‍ෂිත ප්‍රධාන අරමුණ වූයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මගින් පුරාවිද්‍යා උරුමයට එල්ල වී ඇති අභියෝග හඳුනා ගැනීමයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ ජල ව්‍යාපෘති දෙකක් වූ මුරුතවෙල හා කැකිරිඕබඩ ජලාශ ඉදි කිරීම මගින් හානියට පත් වූ පුරාවස්තු හා ද්‍රව්‍යාත්මක අවශේෂ හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. ඒ අනුව අදාළ පුරා ක්‍ෂේත්‍රවල සිදු කරන ලද ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් ඒ පිළිබඳ අවධානය යොමු කරවන ලදී. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට මත්තෙන් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා (Archaeology Impact Assessment) ලබාගෙන ඒ පිළිබඳ ව අවධානය යොමු කිරීම මෙ රට නෛතික ප්‍රතිපාදන අනුව සිදු කළ යුතු ය (1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනත, 43අ සහ 43ආ). නමුත් පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ දී ජනප්‍රිය තලයේ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව මෙම අධ්‍යයනය මගින් ඉස්මතු කිරීමට හැකි වීම මෙම අධ්‍යයනයේ වැදගත්කම ඉහළ නංවයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා බලපෑම් තක්සේරු කිරීමේ දී චූල සම්ප්‍රදායන්ට හා නිර්ප්‍රභූ ජන කණ්ඩායම්වලට අයත් ඒ ඒ ප්‍රදේශවලට ආවේණික විශේෂ පුරාවස්තු කෙරෙහි අවධානය යොමු කරවීමේ වැදගත්කම පිළිබඳ සංවාදයක් ඇති කිරීමට මෙම අධ්‍යයනය වැදගත් වේ. අපගේ අධ්‍යයන ක්‍ෂේත්‍රවලට අයත් ලිඛිත ඉතිහාසයක් පැහැදිළි ව හඳුනා ගැනීමට නොහැකි නිසා ප්‍රදේශයේ අතීතය ප්‍රතිනිර්මාණයට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අතිශය වැදගත් වේ. එවන් සාක්‍ෂි ඒකරාශි කිරීම ද මෙම අධ්‍යයනයේ වැදගත්කමක් ලෙස දැක්විය හැකි ය. කිරම ඔය නිම්නයේ පැවති පැරණි යකඩ කර්මාන්තය හා ජනාවාස ව්‍යාප්තිය පිළිබඳ කරුණු ඒකරාශි කිරීම හා ඒවා ප්‍රාදේශීය ඉතිහාසය පෝෂණයට දායක කිරීම මෙම අධ්‍යයනයෙන් සිදු ව ඇත.

3.3 අධ්‍යයන ක්‍රමවේදය


මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මගින් පුරාවිද්‍යා උරුමයට එල්ල වී ඇති අභියෝග පිළිබඳ කැකිරිඕබඩ සහ මුරුතවෙල ජලාශයන් ආශ්‍රයෙන් සිදු කරන ලද අප පර්යේෂණයේ දී මූලික වශයෙන් ක්‍ෂේත්‍ර ගවේෂණ ක්‍රමවේදය අනුගමනය කරන ලදී. එහි දී අදාළ අධ්‍යයන ක්‍ෂේත්‍රයන් හි පවතින චූල පරිමාණ නිර්ප්‍රභූ ඉතිහාසයක් ගොඩනංවීමට දායක වන පුරා සාක්‍ෂි ඒකරාශි කිරීමේ දී පහත කරුණු පිළිබඳව ද අපගේ අවධානය යොමු විය. 
I.  අදාල පුරාවස්තු පිහිටි ක්‍ෂේත්‍රය සකස්වීමේ ක්‍රියාවලිය  (Site Formation Process)    
II.  ක්‍ෂේත්‍රවල නියැඳි අවකාශයේ පරිමිතිය  (Size of the sample universe)
III.  ප්‍රදේශයේ සම්පත් ශක්‍යතාව  (Resource Potentials)
IV.  ආංශුක පරිමාණයේ පරිසර සන්දර්භය (Micro environmental Context)
V.  මෑතකාලීන මනුෂ්‍ය ක්‍රියාවන් නිසා ක්‍ෂේත්‍රයට සිදු වී ඇති බලපෑමේ තීව්‍රතාව (Impact of the recent site Modification) 
VI. හඳුනාගත් ක්‍ෂේත්‍රවල කාල වකවානු ස්ථිර කරගැනීමට ප්‍රමානවත් දින වකවානු ආවලියක් (Site Chronology)                                                                               
                                                                         (සෝමදේව,  2006) 
මෙම අධ්‍යයනයේ දී අධ්‍යයන ක්‍ෂේත්‍ර දෙකෙහි සිදු කරන ලද ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් සිදු ව ඇති පුරාවිද්‍යා උරුම විනාශ වීම පිළිබඳ මීළඟට වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බැලීම වැදගත් වේ.

4. මුරුතවෙල ජලාශ සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදු ව ඇති පුරාවිද්‍යා උරුම විනාශය




හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකාටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුරුතවෙල ජලාශය, එම ප්‍රදේශයේ පිහිටි විශාලතම ජලාශය වේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය ධූරය දැරූ 1960-1965 කාල වකවානුවේ දී මෙම ජලාශය ඉදි කිරීම සිදු විය. මහා පරිමාණ ව්‍යාපෘතියක් වූ මෙම ජලාශය ඉදි කිරීමට තෝරාගත් අති විශාල භූමි ප්‍රමාණයට වටිනා පුරාවස්තු විශාල ප්‍රමාණයක් යට වී ඇති බව ක්‍ෂේත්‍ර අධ්‍යයනය මගින් පැහැදිළි ව හඳුනාගත හැකි විය. මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පහත බසින ජූලි - අගෝස්තු මාසවල දී පහත සඳහන් පුරාවිද්‍යාත්මක අවශේෂ අපට නිරීක්‍ෂණය කළ හැකි විය. 
  1. යබොර අවශේෂ
  2. යකඩ උදුන් කොටස්
  3. යකඩ උණු කිරීමට යොදාගත් කෝව
  4. වායු නල කොටස්
  5. යකඩ උදුන් සවි කරන ලද පරිශ්‍ර

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2013 අගෝස්තු)

මෙයට අමතර ව වැවෙහි මධ්‍ය ප්‍රදේශවල යකඩ උදුන් සමීපයේ ආයුධ කැබලි ලෙස සැක කළ හැකි කොටස් ද හමු වූ බව ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී දත්ත දායකයින් සාක්‍ෂි සපයන ලදී (ගුණරත්න, අවු: 72., වික්‍රමසිංහ, අවු: 44, සම්මුඛ සාකච්ඡා, 2013). මෙම ජලාශයට යට වී ඇති විශාල භූමි ප්‍රමාණයේ ජලය සිඳී යන කාල සීමාවන්හි දී උක්ත පුරාවස්තු අපගේ නිරීක්‍ෂණයට ලක් වූ අතර, ඉතා පැහැදිළි ව පුරාණ යකඩ කර්මාන්තයන් මෙම ප්‍රදේශයේ පැවති බව අපට හඳුනාගත හැකි විය. පැරණි යකඩ නිෂ්පාදනයට යොදාගත් තාක්‍ෂණික ක්‍රමෝපායන් පිළිබඳ ව සාක්‍ෂි ද එහි ලා පැහැදිළි ව නිරීක්‍ෂණය විය.
මුරුතවෙල ජලාශයට යට වී ඇති භූමි ප්‍රදේශවල විසිරී පැවති විශාල වළං කටු සහිත භූමි ප්‍රදේශ රාශියක් මෙයට වර්ෂ දහයකට පමණ ඉහත දී පැවති බවට වාචික ඉතිහාස දත්ත මෙම අධ්‍යයනයේ දී හමු විය (කාරියවසම්, අවු: 46, සම්මුඛ සාකච්ඡාව, 2013). අපගේ ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී මෙම ප්‍රදේශයේ පැවති වළං කටු විසිරුණු ප්‍රදේශ විශාල වශයෙන් හඳුනා ගැනීමට අපහසු විය. නමුත් ජලාශයට යට වී ගිය භූමි භාගය නිරීක්‍ෂණයේ දී හමු වූ වළං කටු විමර්ශණයේ දී පහත ලක්‍ෂණ සහිත වළං හඳුනා ගැනීමට හැකි විය.
  1. හමු වූ වළංකටු අවශේෂවලින් විශාල ප්‍රමාණයක් පළලින් වැඩි ශක්තිමත් බරණිවලට අයත් වළං කැබලි විය.
  2. මෙම වළං කටු අතුරින් RW සහ BRW වළං පැවති බව හඳුනාගත හැකි විය.
  3. කෙමියක් සහිත භාණ්ඩ පරිහරණය කළ බවට සාක්‍ෂි හමු විය.
  4. කොරහ, අප්පල්ලය වැනි මැටි භාජනවලට අයත් යැයි සැක සිතිය හැකි භාණ්ඩ කොටස් හමු විය.
  5. ක්‍ෂේත්‍ර අධ්‍යයනයේ දී නිරීක්‍ෂණය කළ සමහර වළං කැබලිවල මැටියෙන් ම කළ රටාවන් දක්නට ලැබුණි.

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2013)



මුරුතවෙල ජලාශය ආසන්න ප්‍රදේශ මේ වන විට විශාල වශයෙන් ජනාවාසකරණයට ලක් වී ඇත. එම හේතුව නිසා අවට ප්‍රදේශවල පැවති පුරාවස්තු හඳුනාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් විය. මුරුතවෙල ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මතින් සිදු ව ඇති පුරාවිද්‍යා විනාශයන් ගණනාවක් මෙම අධ්‍යයනයේ දී අපට නිරීක්‍ෂණය විය. ඒවා සංක්‍ෂිප්ත ව පහත පරිදි වේ.
  1. මුරුතවෙල ජලාශය ඉදිකොට ඇත්තේ පුරාණ යකඩ කර්මාන්තය ව්‍යාප්ත ව පැවති භූමි ප්‍රදේශයක වේ.
  2. ශ්‍රී ලංකාවේ පැරණි යකඩ කර්මාන්තයට අයත් වැදගත් පුරා පරිශ්‍ර ගණනාවක් හා පුරාවස්තු ගණනාවක් ජලාශයට යට වී ඇත.
  3. ජලාශයට ජලය පිරීමේ දී හා ජලය ගලා යාමේ දී ජලාශය පතුලේ ඇති පුරාවස්තුවල පිහිටීම වෙනස් වී ඇත.
  4. ජලාශයට යට වූ ප්‍රදේශවල පැවති “වළං කටු විසිරුම්” විනාශ වී ඇති අතර වළං කටු තැන තැන ශේෂ ව දැකගත හැකි ය.
  5. ජලාශයට යට වූ ප්‍රදේශවල පැවති, අතීතයේ දී භාවිත කළ මැටි භාජනවල කොටස් විනාශ වීම හා ක්‍ෂය වී ඇති බව නිරීක්‍ෂණය කළ හැකි ය.
  6. යකඩ නිෂ්පාදනයට අදාළ පැරණි උදුන් කොටස් ජලාශයේ ජලයඅවම වන කාල සීමාවල දී ප්‍රදේශවාසීන් රැගෙන ගොස් ඇත.
  7. ජලාශයේ වැව් තාවුල්ලේ පැවති යකඩ නිස්සාරණයට යොදාගත් පැරණි උදුන් කොටස් හා යබොර අවශේෂ මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත් වී ඇත.

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014)

මුරුතවෙල ජලාශය ඉදි කිරීම සිදු ව ඇත්තේ පැරණි ජනාවාසයකට අයත් ප්‍රදේශයක වීම නිසා උක්ත පුරාවස්තු විනාශයන් සිදු වූ බව අපට පැහැදිළි ව හඳුනාගත හැකි විය. මෙම පුරාවස්තු, ප්‍රදේශයේ අතීතයේ පැවති සංස්කෘතික පැවැත්ම පිළිබඳ ව වැදගත් සාක්‍ෂි වේ. නමුත් ඒ පිළිබඳ ව මහා පරිමාණ ජලාශ සංවර්ධන ව්‍යාපෘතියේ දී සැලකිළිමත් වූ බවක් හඳුනාගත නොහැකි ය. මෙම පුරා පරිශ්‍ර පිළිබඳ ව සැලකිළිමත් වූයේ නම් අතීත රෝහණයේ පැවති වැදගත් කර්මාන්තයක් වූ යකඩ නිෂ්පාදනයට අදාළ සාක්‍ෂි පිළිබඳ ව මීට වඩා සාධාරණයක් ඉටු කළ හැකි බව අපට පෙනී ගියේ ය. මුරුතවෙල ජලාශ ව්‍යාපෘතිය මගින් ජනාවාස පුරාවිද්‍යාවට අදාළ සාක්‍ෂි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව හඳුනාගත හැකි විය.






5. කැකිරිඕබඩ මහා පරිමාණ ජල ව්‍යාපෘතිය හා යටපත් වූ යකඩ නිස්සාරණ පරිශ්‍ර


හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කැකිරිඕබඩ ජලාශය මෙයට වර්ෂ පහකට පෙර වත්මන් රජය විසින් ඉදි කරන ලදී. මුරුතවෙල ජලාශය ඉදිකළ කිරම ඔය නිම්නයේ ම මෙම ජලාශය ද ඉදිකර ඇත. කිරම ඔයේ ඉහළ අතු ශාඛාවක් වන කැකිරි ඔය හරස් කර ඉදි කළ මෙම කැකිරිඕබඩ ජලාශයට ද විශාල භූමි ප්‍රමාණයක් යටවී ඇත. කැකිරිඕබඩ ජලාශයේ ජලය හම්බන්තොට පහත් ප්‍රදේශවලට මේ වන විට ද ලබාදෙන නමුත්, ජලාශයේ සියලු ඉදිකිරීම් සම්පූර්ණ කර නොමැත.






මෙම ජලාශයේ ඇති විශේෂත්වය වන්නේ ජලාශය ඉදිකිරීමේ දී එයට යටවන භූමිභාගවල කුඩා කඳු හා නිම්න ප්‍රදේශ රාශියක් අන්තර්ගත ව පැවතීම යි. මෙම ජලාශ ව්‍යාපෘතියට යටකර ඇති භූමිභාග නිරීක්‍ෂණයේ දී ප්‍රදේශයේ යකඩ නිෂ්පාදනය කළ විශාල පරිශ්‍ර ගණනාවක් ජලාශයට යටවන භූමිවල දැකිය හැකි ය. කැකිරිඕබඩ ජලාශයට යටවී ඇති භූමි ප්‍රදේශවල ද යබොර හා උදුන් කොටස් පැවති බවට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලබාගත හැකි විය (ජිනසේන ,අවු: 56, සම්මුඛ සාකච්ඡාව, 2014). මෙම ජලාශයේ ජලය අඩුවන කාලසීමාවල දී ජලාශයේ ඉහළ ප්‍රදේශවල යබොර අවශේෂ පැහැදිළි ව නිරීක්‍ෂණය කළ හැකි විය (ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014). එමෙන් ම ජලාශයෙන් පිටතට විවෘතව ඇති ඇළ මාර්ගය ඔස්සේ ද යබොර කැබලි ගසාගෙන ගොස් පවතින අන්දම මෙහි දී නිරීක්‍ෂණය විය.




කැකිරිඕබඩ ජලාශයේ හාත්පස ප්‍රදේශයේ හා ජලාශයට අයත්, තවමත් ජලයෙන් නොවැසුනු කුඩා කඳු සහ නිම්න ප්‍රදේශවල විශාල වශයෙන් යබොර විසිරුම් ව්‍යාප්ත බව අපට නිරීක්‍ෂණය විය. මෙම යබොර ප්‍රධාන කොටස් කිහිපයක් යටතේ වර්ග කර හඳුනාගත හැකි විය.
  1. විශාල ප්‍රමාණයේ යබොර කුට්ටි (ආසන්න වශයෙන් 60cm x 30cm ප්‍රමාණයේ)
  2. මධ්‍යම ප්‍රමාණයේ යබොර අවශේෂ (20cm x 10cm)
  3. සුළු පරිමාණයෙන් ගලාගිය දිගැටි යබොර අවශේෂ (10cm x 6cm)
  4. ඉතා කුඩා යබොර කැබලි (2cm x 1cm)

(ක්‍ෂේත්‍ර අධ්‍යයන දත්ත, 2014)

ඉහත දැක්වූ යබොර අවශේෂවල ආසන්න ප්‍රමාණයට වඩා අඩු වැඩි කොටස් ගණනාවක් මෙම ජලාශය වටා ප්‍රදේශවල ව්‍යාප්ත ව පවතී. වඩාත්ම දැකිය හැකි යබොර විසිරුම පළමු ගණයට අයත් වේ. කඳු දෙකක් මැදින් සුළං හමන දිශාවකට මුහුණලා පිහිටි භූමිවල මෙම විශාල යබොර බහුල ව දැකිය හැකි විය. විශාල ප්‍රමාණයේ සිට කුඩා ප්‍රමාණය දක්වා විසිරුණු මෙම යබොර විසිරුම් කැකිරිඕබඩ ජලාශය වටා ප්‍රදේශවල බහුල ව දැකිය හැකි වේ. නමුත් මෙම ප්‍රදේශයේ යකඩ නිෂ්පාදනය කළ බවට උදුන් සාධක බහුල ව හමු වේ. මෙම ප්‍රදේශය වටා වළං කටු විසිරුම් දැකිය හැකි වුව ද ඒවා මුරුතවෙල ජලාශ භූමියට සාපේක්‍ෂ ව පහත අගයක් ගනු ලබයි. ප්‍රදේශයේ පැවති අතීත යකඩ නිෂ්පාදනය පිළිබඳ සාධක පෙන්නුම් කරන මෙම යබොර අවශේෂ විසිරුණු භූමිභාග මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයක් ජලාශයට යට වී ඇත. ඉතිරි පරිශ්‍රයන් ද ක්‍රමයෙන් ජලාශයට යටවිය හැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව පැහැදිළි විය.



කැකිරිඕබඩ ජලාශය ඉදි කිරීමේ දී වුව ද මෙම යකඩ නිශ්පාදන භූමි පිළිබඳ ව අවධානය යොමු වූ බවක් අපට හඳුනාගත නොහැකි ය. මෙම ප්‍රදේශය පිළිබඳ ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර මගින් කිසිඳු වැදගත් සාක්‍ෂියක් හමු නොවුන ද, මෙ වැනි පුරාවිද්‍යා සාක්‍ෂි මගින් අතීත ජනාවාස හා තාක්‍ෂණික ඥාණය පිළිබඳ ව වැදගත් තොරතුරු අනාවරණය වේ. ජලාශ ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ලද භූමිවල පවතින පුරාවස්තු විනාශ වීම නිසා මෙම ප්‍රදේශයේ අතීතය පිළිබඳ සාක්‍ෂි සම්පූර්ණයෙන් විනාශ වීමට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වී ඇති බව පෙනී යයි.

සමාලෝචනය


මෙම අධ්‍යයනය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති දෙකක් වූ මුරුතවෙල හා කැකිරිඕබඩ ජලාශ ඉදි කිරීම මගින් ප්‍රදේශයේ පුරාවස්තුවලට සිදු වූ බලපෑම අවධානයට ලක් විය. සශ්‍රීක ජල දහරාවන්ගෙන් හෙබි කිරම ඔය ඉහළ නිම්නයේ ඉදි කළ මෙකී ජලාශ ව්‍යාපෘතිවලට රෝහණයේ පැරණි ජනාවාස යටවී ඇති බව ක්‍ෂේත්‍ර අධ්‍යයනවල දී පැහැදිළි විය. මෙම ජලාශ ඉදි කිරීමේ දී යකඩ නිෂ්පාදනයට අදාළ පුරාවස්තු හෝ ජනාවාස ව්‍යාප්තිය පෙන්නුම් කරන වළං කැබලි විසිරුම් පිළිබඳ ව අවධානයක් යොමු නොකළ බව පැහැදිළි ව හඳුනාගත හැකි විය. අපගේ අධ්‍යයන ක්‍ෂේත්‍රවල අතීතය පිළිබඳ ව ලිඛිත මූලාශ්‍ර දක්වන නිහඬතාවය බිඳ දමා ඇති මෙම පුරාවස්තු පිළිබඳ ව බොහෝ දෙනෙකු තොරතුරු නොදනී. ප්‍රදේශයේ අතීතයේ පැවති සංස්කෘතික පැවැත්ම චිත්‍රණය කළ හැකි වටිනා පුරාවස්තූන් පිළිබඳ ව නිසි අවධානයක් යොමු නොවීම මගින් මෙම ප්‍රදේශයේ පැවති අතීත තත්ත්වයන් පිළිබඳ ව තොරතුරු ජාතික ඉතිහාස තලයෙන් බැහැර වීමේ අවදානමක් පවතින බව පැහැදිළි වේ. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මගින් විශාල ජනතාවකට සෙත සැලසිය හැකි නමුත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති යෝජනා සැලසුම් කිරීමේ දී සුළු පරිමාණයේ පුරාවස්තු පිළිබඳ සැලකිළිමත් නොවූ බව මෙම අධ්‍යයනයෙන් අපට පැහැදිළි විය. ජනප්‍රිය තලයේ පුරාවස්තු නොමැති ප්‍රදේශවල දැකිය හැකි මෙවන් නිර්ප්‍රභූ පුරාවස්තු පිළිබඳ සැලකිළිමත් වීම අදාළ ප්‍රදේශයේ අතීතය නිවැරදි ව ගොඩනැංවීමට බලපාන බැවින් පුරාවිද්‍යාඥයින්ගේ අවධානය මෙවන් ක්‍ෂේත්‍ර කෙරෙහි යොමු කිරීම වැදගත් බව අධ්‍යයන දත්ත මත පදනම් වෙමින් අවසාන වශයෙන් සටහන් කරනු කැමැත්තෙමු.

ආශ්‍රිත ග්‍රන්ථ


සෝමදේව, ආර්., 2006. “අවකාශය හා මානවකෘති සමාජ සංකීර්ණතාවේ පුරාවිද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස”. ජාතික පුරාවිද්‍යා සමුළුව ප්‍රකාශනය, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

බණ්ඩාර, ඩී. හා එස්. ප්‍රසන්න, 2013. “පළමුවෙනි විජයබාහු රජු හා සබැඳි ඓතිහාසික ස්ථානවලින් හමුවන යබොර අවශේෂ පිළිබඳ පුරාවිද්‍යාත්මක විමර්ශනයක්”. පළමු ජාතික පර්යේෂණ සමුළු ප්‍රකාශනය. මිහින්තලේ: රජරට විශ්වවිද්‍යාලය.

බණ්ඩාර, ඩී., 2013. “සිංහරාජ වනාන්තරයේ වයඹදිග බෑවුම ආශ්‍රිත පුරාණ යකඩ කර්මාන්තය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි”. පුන්කලස: පුරාවිද්‍යා වාර්ෂික සමුළු ප්‍රකාශනය, කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

ප්‍රසන්න, ඩබ්ලිව්. ඒ. එස්., 2013. “කිරම ඔය නිම්නයේ පැරණි යකඩ කර්මාන්තය පිළිබඳ ව පුරාවිද්‍යාත්මක විමර්ශනයක්”. පුන්කලස: ජාතික පුරාවිද්‍යා සමුළු ප්‍රකාශනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

රණවැල්ල, එස්., 2003. රෝහණ දේශයේ ඉතිහාසය, මාතර: රුහුණ විශ්වවිද්‍යාලයීය ප්‍රකාශන.

ද සිල්වා, එන්., ඩබ්ලිව්. එච්. විජේපාල හා එස්. රණසිංහ, සංස්කරණය, 2005. හම්බන්තොට දිස්ත්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය,  කොළඹ: මධ්‍යම සංස්කෘතික අරමුදල.

පරණවිතාන, එස්., සංස්කරණය, 1972. ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය: ස කාණ්ඩය සස භාගය, කැලණිය: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය.

Somadeva, R. 2006. Urban Origins in Southern Sri Lanka, Uppsala: Uppsala University.

Juleff, G. 1998. Early Iron and Steel in Sri Lanka, Germany: Impresco en Almenia.


දත්ත දායකයින්


අගලබඩ පියසිරි හිමි, වයස අවු: 71, රෝහණ පාර්ශ්වයේ අනුනායක, සිත්තම්ගල්ල රජමහා විහාරය, වරාපිටිය, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2014.

කේ. පී. ගුණරත්න, අවු: 72. අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත. රදනිආර, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2013.
එච්. කේ. වික්‍රමසිංහ, අවු: 44, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, රදනිආර, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2013.

එච්. ඒ. එම්. කාරියවසම්, අවු: 46, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, පිස්සුබැද්ද, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2013.

ආර්. එල්. ජිනසේන, අවු: 56, අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත, පොතුවිල, පිස්සුබැද්ද, කිරම. සම්මුඛ සාකච්ඡාව, 2014.